ප්‍රධාන පුවත්

2027දී 6 ශ්‍රේණි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආරම්භයට සූදානම් – නව මොඩියුල හා ජාතික කමිටු ක්‍රියාත්මකයි

2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමට අවශ්‍ය සියලු සූදානම් ක්‍රියාමාර්ග මේ වනවිට සිදුකරමින් පවතින බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව සඳහන් කර තිබේ.

එම කමිටුව ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී, අදාළ ප්‍රතිසංස්කරණයට සම්බන්ධ සියලු මොඩියුල විශේෂ කමිටු හරහා ගැඹුරින් සමාලෝචනය කරමින් පවතින බව අවධාරණය විය.

මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කර තිබේ. එමෙන්ම 2026දී ආරම්භ කළ පළමු ශ්‍රේණියේ නව ක්‍රමවේදයේ ප්‍රගතිය ඉදිරියේදී විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට නියමිත බවද නිලධාරීන් පෙන්වා දී ඇත.

ඇගයීම් සහ තක්සේරු ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා විදෙස් විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එම සම්පත්දායකයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තවද, ජනාධිපතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපනය සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එසේම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින්ද මෙහෙයුම් කමිටු පිහිටුවීමට සැලසුම් කර ඇත.

මේ අතර, පළමු ශ්‍රේණියේ දෙවන සහ තෙවන වාර සඳහා සකස් කළ ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණයට සූදානම් කර ඇති අතර, දෙවන වාරය සඳහා වන ප්‍රායෝගික පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු ශිෂ්‍යයින්ට බෙදාහැරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button