
පොසොන් දන්සල්වල ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්නැයි ඉල්ලීමක්
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සල්වලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය හැකිතාක් අවම කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මේ වන විට දිවයින පුරා දන්සල් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර, වෙසක් සමයට වඩා වැඩි දන්සල් ප්‍රමාණයක් මෙවර ලියාපදිංචි වී ඇති බවයි. එමෙන්ම වැඩිම දන්සල් සංඛ්‍යාව උතුරු මැද පළාතෙන් වාර්තා වී ඇති බවද ඔහු පැවසීය.
දන්සල්වලදී උණුසුම් හෝ සිසිල් ආහාර සහ පාන වර්ග ප්ලාස්ටික් හෝ පොලිතින් ඇසුරුම්වල ලබාදීම සෞඛ්‍ය අවදානමක් ඇති කළ හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවන් සිදු කරන බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම දැනට පවතින ඩෙංගු අවදානම හේතුවෙන් භාවිතයෙන් පසු නොසැලකිලිමත් ලෙස බැහැර කරන ප්ලාස්ටික් කෝප්ප සහ වෙනත් භාජන තුළ ජලය රැඳී මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව දන්සල් සංවිධායකයන් සහ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.



