
කොළඹ ගංවතුර ගැන සජිත්ගේ ප්‍රකාශය: ආණ්ඩුවට දැඩි විවේචනයක්
කොළඹ ගංවතුර ගැන සජිත්ගේ ප්‍රකාශය
කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ආණ්ඩුවේ ‘වසර දෙකයි රටට සුබයි’ යන තේමාවට වඩා වත්මන් තත්ත්වය අනුව ‘වසර දෙකයි රටට සුබයි, මුළු කොළඹම ගලයි’ යනුවෙන් පැවසීමට සිදුව ඇති බවයි.
කොළඹ ගංවතුර ගැන සජිත්ගේ ප්‍රකාශය : කාණු පද්ධති සහ ජල කළමනාකරණය ගැන ආණ්ඩුවට චෝදනා
රජය රට පුරා රැස්වීම් මාලාවක් පවත්වමින් සිය වසර දෙකක පාලන කාලය පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදුකරන නමුත්, කොළඹ නගරය තුළ ඇති වූ ගංවතුර තත්ත්වය එම ප්‍රචාරණයට පරස්පර බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා නව වැව් ඉදිකිරීම පිළිබඳ ප්‍රකාශ කළද, ඊයේ දිනයේදී කොළඹ නගරයම විශාල ජලාශයක් බවට පත්වූ බව ඔහු සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමේදී මාස හයක් ඇතුළත නගරය අලංකාර කරන බවට ලබාදුන් පොරොන්දුව ඉටු වී නොමැති බවත්, කාණු පද්ධති පිරිසිදු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම නිසි ලෙස සිදුකර නොමැති බවත් ඔහු චෝදනා කළේය.
අද (07) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ පැවති සමගි තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරියට, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාට සහ කොළඹ පුරපතිනියට පමණක් පුනරුදයේ ප්රතිලාභ ලැබී ඇති බව පෙනෙන්නට තිබුණද, සාමාන්‍ය ජනතාවට එම ප්රතිලාභ හිමිවී නොමැති බවද ඔහු පැවසීය.
සුරපුරයක් නිර්මාණය කරන බවට පොරොන්දු ලබාදී බලයට පැමිණි ආණ්ඩුවේ පාලනය යටතේ එක් වැස්සකින්ම ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වූ බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ක්‍රියාවට වඩා ප්‍රචාරණයට මුල්තැන දීම, පොරොන්දු ඉටු නොකිරීම සහ ජනතාව නොමඟ යැවීම මෙවැනි තත්ත්වයන්ට හේතු වී ඇති බවටද ඔහු චෝදනා කළේය.
කොළඹ ගංවතුර ගැන සජිත්ගේ ප්‍රකාශය තුළින් තවදුරටත් පෙන්වා දුන්නේ, බලයට පත්වීමෙන් අනතුරුව කාණු පද්ධති ප්‍රතිසංස්කරණය කර විධිමත් ගංවතුර කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබූ බවයි.
නියඟය මෙන්ම අධික වර්ෂාපතනයද ඇතිවිය හැකි බවත්, එල් නිනෝ සහ ලා නිනා දේශගුණික සංසිද්ධීන්ගේ බලපෑම් ඉදිරියේදීද ඇතිවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීම් තිබූ බවත් ඔහු සිහිපත් කළේය. එවැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජල කළමනාකරණය සහ කාණු පද්ධති සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවද ඔහු පැවසීය.
විධායක ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජාතික ජන බලවේගයට අයත් පුරපතිනියක්ද සිටියදී කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. අගනුවරේ ජල කළමනාකරණයවත් නිසි පරිදි සිදුකළ නොහැකි ආණ්ඩුවකට රට සංවර්ධනය කළ හැකිද යන්න ඔහු ප්‍රශ්න කළේය.
මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම සහ ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ යන අපේක්ෂාව යථාර්ථයක් බවට පත් නොකිරීම හේතුවෙන් ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධය පළකරමින් සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ජනතා විරෝධය හමුවේ බියට පත්ව සිටින ආණ්ඩුව මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සීමා කළ හැකි නව නීති ගෙන ඒමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතක් ලෙස හඳුන්වමින් ඉදිරිපත් කරන පනත ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන එන එකක් බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නීති ගෙන එන බව පවසන ආණ්ඩුවම සංවිධානාත්මකව අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවන බවටද ඔහු චෝදනා කළේය. මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටු නොකර රටට අහිතකර තීරණ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
මේ අතර, මෙරට කර්මාන්තශාලා වසා දැමෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, ලෝකය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වේගයෙන් ඉදිරියට ගමන් කරද්දී ශ්‍රී ලංකාව තවමත් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කරගෙන නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
තමන් සුහුරු අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ විශ්වාසය තබා සිටියද, එම වැඩපිළිවෙළ පවා රට තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කර තිබුණද, එම අරමුණු සැබෑ ලෙස ආරක්ෂා කිරීමට රටේ නිදහස තහවුරු කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහෙත් ශ්‍රී ලංකාවට මේ වන විට මූල්‍ය නිදහසක් නොමැති බවත්, මූල්‍ය අර්බුදයක් ඇතිවන සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර සබඳතා තුළද රටේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා, ශ්‍රී ලංකාව බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය ණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහාද ණය ලබාගෙන ඇති බව පෙන්වා දුන්නේය.
2028 වසරේ සිට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් ගෙවීමට සිදුවන බවත්, එම කාලය වන විට රටේ ආර්ථික තත්ත්වය කෙබඳු වේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.
2027 මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින ගිවිසුමේ කාලසීමාව අවසන් වන බවද සඳහන් කළ ඔහු, 2028 වසරේ සිට ඩොලර් බිලියන තුනකට වැඩි ණය මුදලක් ගෙවීමේ අභියෝගයට රට මුහුණදීමට සිදුවන බව ප්‍රකාශ කළේය.
එම ණය ගෙවීම සඳහා අවශ්‍ය ආර්ථික වර්ධනයක් රට තුළ පවතින්නේද, සෘජු විදේශ ආයෝජන සහ අපනයන ආදායම් වර්ධනය වී තිබේද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
වර්තමානයේ රට පවතින්නේ අවදානම් සහගත තත්ත්වයක බවත්, අසත්‍ය ප්‍රකාශ හා පොරොන්දු හමුවේ තරුණ පරපුර ඇතුළු මිලියන 22ක ජනතාවක් රැවටීමට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය. එබැවින් රටේ සැබෑ තත්ත්වය හඳුනාගෙන සත්‍යය මත පදනම් වූ යහපත් දේශපාලන ගමනක් ආරම්භ කළ යුතු බවද ඔහු පැවසීය.
දේශපාලන තරගවලදී මෙරට තරුණ පරපුර බොහෝ අවස්ථාවල ගොදුරු බවට පත්වන බවත්, ඉටු කළ නොහැකි බලාපොරොත්තු ඇති කරමින් දේශපාලනඥයන් සිය බලය තහවුරු කරගන්නා අතර තරුණයන් විශාල පිරිසක් අසරණ වන බවත් ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා සමගි ජන බලවේගයේ සමාජ ගිවිසුම හරහා තරුණයන්ගේ දක්ෂතා, නිපුණතා සහ කැපවීම මත ඉදිරියට යා හැකි පරිසරයක් ගොඩනඟන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
එම සමාජ ගිවිසුම ජනතාව රැවටීමේ හෝ නොමඟ යැවීමේ වැඩපිළිවෙළක් නොවන බව පැවසූ ඔහු, නිදහසින් පසු බලයට පත් වූ දේශපාලන පක්ෂ රාජ්‍ය බලය සහ බදු ගෙවන්නන්ගේ මුදල් යොදාගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කළේය.
එහෙත් බලයක් නොමැතිව සිටියදීත් රට වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළේ සමගි ජන බලවේගය බවට ඔහු ප්‍රකාශ කළේය.
සෝබනයට වඩා සංවර්ධනය, සුබසාධනය සහ ජනතා සහන සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, තරුණයන්ට තම කුසලතා හා හැකියාවන් මත සමාජයේ ඉහළට ගමන් කිරීමට අවස්ථා සැලසිය යුතු බව පැවසීය.
දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සම්බන්ධතා වෙනුවට පුද්ගලයන්ගේ දක්ෂතා හා නිපුණතා මත ඉදිරියට යා හැකි ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කළ යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



