
ජලාශවල ජල මට්ටම පහළට
ජලාශවල ජල මට්ටම දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල ජල මට්ටම අවම අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා සඳහන් කරයි.
මේ වන විට යල කන්නයේ වගා කටයුතු අවසන් අදියරේ පවතින බැවින් පවතින ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා,
”වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශවල ගබඩා කරගත හැකි ජල ප්‍රමාණය මේ වන විට සියයට 35.9ක අගයක් ගන්නා අතර, විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කය, මඩකලපුව දිස්ත්‍රික්කය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සහ මොණරාගල දිස්ත්‍රික්කය යන ප්‍රදේශවල පවතින ජලාශවල ජල මට්ටම අවම අගයක් ගන්නවා.
කෙසේ වෙතත්, මේ වන විට යල කන්නය අවසන් අදියරට පැමිණ ඇති බැවින්, මෙම පවතින ජල ප්‍රමාණය එම වගා කටයුතු සඳහා ප්‍රමාණවත් වේ යැයි අපේක්ෂා කරන අතර, මෙම ජලාශවලින් පානීය ජලය ලබාගන්නා ප්රදේශවලටද පවතින ජල ප්‍රමාණය ඉදිරි වර්ෂාපතනය ඇතිවන තෙක් (ඔක්තෝබර්, නොවැම්බර් මාස දක්වා) ප්‍රමාණවත් වේ යැයිද අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත්, අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමග මෙම ජලාශවලින් හානි වන (වාෂ්පීකරණය වන) ජල ප්‍රමාණයද අධික වන බැවින් අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නා බැවින් වගා කටයුතු සහ අනෙකුත් දෛනික කටයුතු සඳහා ජලය භාවිත කිරීමේදී ඉතාමත් අරපිරිමැස්මෙන් යුතුව භාවිත කිරීම වැදගත් වනවා.”
මේ අතර, අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය සපයා ගැනීමට නොහැකිව තිරප්පනේ පිත්තල කොන්ඩෑරුම ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරත ජනතාවද දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
අධික උෂ්ණත්වය සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් ජලාශවල ජලය වාෂ්පීකරණය වීම ඉහළ ගොස් ඇති බැවින්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.



