ප්‍රධාන පුවත්

දිවයින පුරා නායයෑම් අවදානම් ස්ථාන 30,000 ඉක්මවයි

දිවයින පුරා නායයෑම් අවදානම් ස්ථාන 30,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

 

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පවතින අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බවයි.

 

මේ මස 3 වනදා සිට මේ දක්වා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීම් 25ක් නිකුත් කර ඇති බව ද ඔහු පැවසීය.

 

මීට පෙර ඇති වූ දිට්වා බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල නායයෑම්වල මූලික ලක්ෂණ මතුව ඇති බවත්, ඇතැම් ස්ථානවල ගල් සහ පස් තට්ටු තාවකාලිකව රැඳී පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. පවතින වර්ෂාව හමුවේ එම ගල් හා පස් තට්ටු සෝදාගෙන යාමේ දැඩි අවදානමක් පවතින බව ද සඳහන් කළේය.

 

ප්‍රදේශයකට සුළු වර්ෂාපතනයක් ලැබුණ ද, පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු විය හැකි බව ඔහු අවධාරණය කළේය. එබැවින් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව කටයුතු කළ යුතු බව ද ඉල්ලා සිටියේය.

 

මේ අතර, ඊයේ (21) ලැබුණු වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.

 

ඒ අනුව, පහත ප්‍රදේශ සඳහා දෙවන අදියරේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර ඇත.

 

* මහනුවර දිස්ත්‍රික්කය: උඩපළාත, මැදදුම්බර සහ කුණ්ඩසාලේ

 

* නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව සහ නෝර්වුඩ්

 

* රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, ඇළපාත සහ කුරුවිට

 

පවතින වර්ෂාපතන තත්ත්වය අනුව මෙම අනතුරු ඇඟවීම් ඉදිරියේදී වෙනස් විය හැකි බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button