ප්‍රධාන පුවත්

නොවැම්බර් 01 සිට TIN අංකය අනිවාර්ය වන කාර්යයන්

TIN අංකය අනිවාර්ය වන කාර්යයන් කිහිපයක් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව 2026 නොවැම්බර් 01 වනදා සිට බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීමේදී වලංගු TIN අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදීද TIN අංකය ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීමේදීද මෙම අවශ්‍යතාව අදාළ වේ.

තවද ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අදාළ කාර්යයන් සිදුකිරීමට පෙර ඉදිරිපත් කරන TIN අංකය වලංගුද යන්න අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවා පහසුකම ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

එමෙන්ම දැනට තමන් සතුව පවතින TIN අංකය වලංගුද යන්නද එම ඊ-සේවාව හරහා පරීක්ෂා කරගැනීමට හැකියාව පවතී.

තහවුරු කිරීම සාර්ථක වූ පසු TIN අංකය තිරය මත දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව සඳහන් මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button