උණුසුම් පුවත්

කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක්

කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා නොමැති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු මෙලෙස බැඳුම්කර මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් – වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා නැති බව හෙළි වෙයි

එම වගඋත්තරකරුවන් සිව්දෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දුවක් ලබා දී තිබුණි. ඒ අනුව, එම සිද්ධියට වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකුට වන්දි ගෙවන ලෙස පසුගිය මාර්තු මාසයේදී අධිකරණය නියම කළේය.

එම තීන්දුව අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 20ක මුදලක් මේ වන විට ගෙවා ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

නියම කළ වන්දි මුදල් නිසි පරිදි ගෙවා නොමැති වීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් මෝසමක් ගොනු කර තිබුණි.

එම මෝසම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇති අතර, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ නියෝගය ලබා දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button