
කස්සප හිමි ඇතුළු හිමිවරුන් තිදෙනෙක් මාරාන්තික උපවාසයක් අරඹයි
කස්සප හිමි ඇතුළු හිමිවරුන් තිදෙනෙක් අනුරාධපුරයේ රුවන්වැලි සෑය අභියස ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේදී අද (11) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
කස්සප හිමි ඇතුළු හිමිවරුන් තිදෙනෙක් ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් උපවාසයේ
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේ පිරිසක් පසුගිය 7 වැනිදා රුවන්වැලි සෑය අසල දන්සල් භූමියේදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කළහ.
අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය විසින් නියෝගයක් ද ලබාදී තිබූ පසුබිමක මෙම විරෝධතාව ක්‍රියාත්මක විය.
මේ අතර, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙත අද පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට දැනුම්දී තිබූ බවද වාර්තා වේ.
එවැනි තත්ත්වයක් තුළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙනෙකු මෙලෙස මාරාන්තික උපවාසයක නිරත වීමට තීරණය කර තිබේ.
උපවාසය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සඳහන් කළේ,
“කාරණා දෙකක් මත පදනම්ව අද අපි භික්ෂූන් වහන්සේලා තුන්නම මාරාන්ති උපවාසයක් කරා ගමන් කරනවා.”
“මේ මොහොතේ සිට අපි වතුර බිඳක්වත් පානය කරන්නේ නැහැ. මෙතනට එන අය අපිට වතුර බෝතලයක්වත් පූජා කරන්න එපා.. අපි සම්පූර්ණයෙන් ආහාරවලින්, ගිලන්පසවලින් වළකිනවා කොන්දේසි 2ක් මත.”
එහිදී ඉදිරිපත් කර ඇති පළමු කොන්දේසිය ලෙස මහානායක හිමිවරුන් පොරොන්දු වූ පරිදි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට මැදිහත් විය යුතු බව කස්සප හිමියෝ පෙන්වා දුන්හ.
“පළවෙනි කොන්දේසිය තමයි මහානායක හාමුදුරුවෝ පොරොන්දුවූ පරිදි ඥානසාර හාමුදුරුවෝ කොන්දේසි විරහිතව නිදහස් කරන්න මැදිහත් වෙන්න ඕනේ.”
දෙවැනි කොන්දේසිය ලෙස අනුරාධපුර පූජා භූමිය ඉන්දියානුකරණය කරන බවට ඔවුන් චෝදනා කරන ගැසට් පත්‍රය ඉවත් කරගත යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
“දෙවෙනි කොන්දේසිය තමයි මේ අනුරාධපුර පුණ්‍ය භූමිය ඉන්දියානුකරණය කරන ගැසට් පත්‍රය හකුල ගන්න ඕනේ.”
එම ඉල්ලීම් දෙක ඉටු කරන තෙක් ජලය හෝ ආහාර කිසිවක් ලබා නොගන්නා බව අවධාරණය කළ කස්සප හිමියෝ වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළහ.
“ඒ කොන්දේසි දෙක ඉෂ්ට වෙන තෙක් අපි වතුර බිඳක්වත් පාවිච්චි කරන්නේ නැහැ. නිවටයෙකු විදියට ජීවත්වෙනවාට වඩා ශ්‍රේෂ්ඨයෙකු ලෙස සම්බුද්ධ ශාසනයට ජීවිතය පූජාකරන එක අපිට වටිනවා.”



