කාලගුණය

කන්කසන්තුරය – කල්පිටිය මුහුදු කලාපයට රතු අනතුරු ඇඟවීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම මුහුදු කලාපයේ සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අගයන් දක්වා ඉහළ යා හැකි අතර, මුහුද ඉතා රළු ස්වභාවයක් ගනු ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම්දීමක් සිදුකරන තෙක් යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාව වෙත උපදෙස් ලබාදී ඇත.

මේ අතර, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර, එම ප්‍රදේශ ද රළු මුහුදු තත්ත්වයක පවතිනු ඇත.

තවද, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව සඳහන් වේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කෙරෙන නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button