
ඒකක 180ට වැඩි විදුලි බිල හෙට සිට ඉහළට
විදුලි පරිභෝජනය ඒකක 180 ඉක්මවන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා සියයට 18ක විදුලි ගාස්තු වැඩි කිරීමකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා අදාළ මෙම නව ගාස්තු සංශෝධනය හෙට (11) සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතාද එල්ල වී ඇත.
මීට පෙරද අප්‍රේල් 1 වැනිදා සිට දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 8 සිට 14.4 දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලබාදී තිබූ අතර, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි නිෂ්පාදන පිරිවැය වැඩිවීම නව සංශෝධනයට හේතුව ලෙස දක්වා ඇත.
නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම පසුගිය අප්‍රේල් 27 වැනිදා සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබූ බව සඳහන් වේ.
කෙසේවෙතත්, විදුලි පාරිභෝගිකයින්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා රජය රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමට ලිඛිතව එකඟ වී ඇති බැවින් මෙරට පාරිභෝගිකයින්ගෙන් සියයට 95කට මෙම වැඩිවීම බල නොපාන බව වාර්තා වේ.
ඒ අනුව ඒකක 0 සිට 180 දක්වා පරිභෝජනය කරන ගෘහස්ථ කාණ්ඩයට කිසිදු ගාස්තු වැඩිවීමක් නොමැත. නමුත් ඒකක 181ට වැඩි පාරිභෝගිකයින්ගේ බිල්පත් සැලකිය යුතු ලෙස ඉහළ යන අතර, ඒකක 210ක් භාවිත කරන අයෙකුගේ බිල්පත රු.9,570 සිට රු.11,330 දක්වා ඉහළ යයි.
එසේම ඒකක 240ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ බිල්පත රු.12,120 සිට රු.14,330 දක්වා වැඩිවන අතර, ඒකක 270 සහ 300 භාවිත කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ බිල්පත්ද පිළිවෙළින් රු.2,660කින් සහ රු.3,110කින් ඉහළ යනු ඇත.



