
එළවළු මිල ඉහළට – බිත්තර සහ කුකුළු මස් ඉල්ලුම 20%කින් පහළට
එළවළු මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයන්ට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වැඩි වියදමක් දැරීමට සිදුව ඇති අතර, බිත්තර සහ කුකුළු මස් සඳහා වෙළෙඳපොළේ පවතින ඉල්ලුම ද සියයට 20කින් පමණ අඩු වී තිබේ.
එළවළු මිල ඉහළ යද්දී බිත්තර සහ කුකුළු මස් ඉල්ලුම 20%කින් අඩු වෙයි
පවතින වර්ෂාපතනය හේතුවෙන් උඩරට සහ පහතරට එළවළු වර්ග රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ රුපියල් 350ත් 400ත් අතර පැවති තක්කාලි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 600ත් 650ත් අතර මට්ටමකට ඉහළ ගොස් තිබේ. එසේම, රුපියල් 250ක්ව පැවති මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 400ත් 450ත් අතර දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියල් 150ක් වූ ගෝවා කිලෝවක තොග මිල රුපියල් 350ක් දක්වා වැඩි වී ඇත.
මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳ සමිතියේ හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පෙන්වා දෙන්නේ උත්සව සමය ළං වීමත් සමඟ එළවළු මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.
“මේ දවස්වල එළවළු මිල වැඩිවීමක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි රටේ පවතින කාලගුණික තත්ත්වය. වැඩිම මිලක් තියෙන්නේ තක්කාලිවලටයි. තොග මිල රුපියල් 600ක් වගේ වෙනවා. ඒ වගේම බෝංචි රුපියල් 400ත් 500ත් අතර මිලක තියෙනවා. කැරට් රුපියල් 200ත් 250ත් අතර මිලක තියෙනවා. ලීක්ස් රුපියල් 200යි. අමුමිරිස් රුපියල් 350ත් 400ත් අතර මිලක තියෙනවා. පහතරට එළවළු මිලත් ඉහළ ගිහින් තියෙනවා. පතෝල කිලෝවක් මේ දවස්වල රුපියල් 400ක පමණ මිලකට අලෙවි වෙනවා. ඒ වගේම වැටකොළු රුපියල් 200ත් 250ත් අතර මිලක තියෙනවා. වට්ටක්කා මිලත් මේ දවස්වල ඉහළ ගිහින් තියෙනවා. කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා තිබෙනවා. කැකිරි සහ පිපිඤ්ඤා වැනි එළවළු පමණයි රුපියල් 100ට අඩු මිලකට තියෙන්නේ. සමස්තයක් වශයෙන් බැලුවහම පසුගිය මාසයට සාපේක්ෂව එළවළු මිල ඉහළ ගිහින් තියෙනවා. කොහොමත් දෙසැම්බර් මාසය වන විට සෑම වසරකම සාමාන්‍යයෙන් එළවළු මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී මිල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. මිල තවදුරටත් ඉහළ යා හැකියි.”
මේ අතර, බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරයි.
බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ත් 32ත් අතර පැවතියද, ගොවිපොළවලින් බිත්තර නිකුත් කරනු ලබන්නේ ද එම මිල පරාසය තුළම බැවින් නිෂ්පාදකයන්ට ප්‍රමාණවත් ලාභයක් ලබාගැනීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් කුකුළු මස් පරිභෝජනය ද අඩු වී ඇති බව සංගමයේ අදහසයි. කෙසේ වෙතත්, ඉදිරි උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව ද අජිත් ගුණසේකර මහතා සඳහන් කළේය.
නොවැම්බර් 15 වැනිදායින් පසු උත්සව සමය ආරම්භ වීමත් සමඟ බිත්තර සහ කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අජිත් ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය.
“අද වන විට පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙලා තියෙනවා. අපි වෙළෙඳපොළේ සමීක්ෂණයක් කරන විට බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම අඩු වී ඇති බව පෙනී යනවා. වෙළෙඳපොළේ පරිභෝජනය සියයට 20කින් පමණ අඩු වී ඇති බව අපට පෙනෙනවා. බිත්තරයක නිෂ්පාදන වියදම සාමාන්‍යයෙන් රුපියල් 30ත් 32ත් අතර වෙනවා. නමුත් අද ගොවිපොළවලින් බිත්තර නිකුත් කරන්නේත් රුපියල් 30ත් 32ත් අතර මිලකටයි. ඒ නිසා නිෂ්පාදකයන්ට ලාභදායී තත්ත්වයක් නැහැ. ඒ වගේම කුකුළු මස් මිලත් අඩු වෙලා තියෙනවා. පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කුකුළු මස් පරිභෝජනය අඩු වී ඇති බවයි අපට පෙනෙන්නේ. නමුත් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යනවා. උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය සැපයුම හිඟයකින් තොරව ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ නිසා නොවැම්බර් 15 වැනිදායින් පසු උත්සව සමය ආරම්භ වීමත් සමඟ තත්ත්වය නැවතත් සාමාන්‍ය අතට පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”



