කාලගුණය

එල් – නිනෝ ගැන වසර 75කට පසු අනතුරු ඇඟවීමක්

මේ වසර අවසානය වනවිට ඉතා ප්‍රබල එල් – නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 90කට වැඩි බව ගෝලීය පුරෝකථන මඟින් පෙන්වා දෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 1950 වසරේ සිට මේ දක්වා වසර 75ක කාලය තුළ වාර්තා වූ එල් – නිනෝ තත්ත්වයන්ට සාපේක්ෂව මෙවර තත්ත්වය වඩාත් ප්‍රබල විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා,

“මේ එල් – නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ. මේ වසරේ ඇතිවන එල් – නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල් – නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල් – නිනෝ තත්ත්වය ඒ සියලුම එල් – නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එල්නිනෝවක්වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝතකනය වෙනවා”

මේ අතර, මෙරට ජලාශවල පවතින ජල මට්ටම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තම පාලනය යටතේ පවතින ප්‍රධාන ජලාශ 74හි ජල ධාරිතාව මේ වනවිට සියයට 37කට ආසන්න මට්ටමකට පහළ බැස ඇති බවයි.

එබැවින් පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එන්.පී.එස්.ඩී. හේරත් මහතා මේ සම්බන්ධයෙන් පැවසූයේ,

“වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය වන ප්‍රධාන ජලාශ 74 පවතින ජල ප්‍රමාණය මේවන විට ප්‍රතිශතයක් වශයෙන් 37%කට ආසන්න අගයක් ගන්නවා. මේවන විට පවතින ජල ප්‍රමාණය යල කන්නය සඳහා ප්‍රමාණවත් යැයි අපේක්ෂා කරන අතර, නොවැම්බර් දෙසැම්බර් වර්ෂාපතනය ලැබෙන තාක් ප්‍රමාණවත් වේ යැයි අපේක්ෂා කරනවා”

කෙසේ වෙතත්, දිවයින පුරා ජල පිරිපහදු මධ්‍යස්ථාන උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ,

“දිවයින පුරාම තියෙන ජල පිරිපහදු මධ්‍යස්ථානවල 100%ක්ම අපේ උපරිම ධාරිතාවයෙන් ජල සම්පාදනය සිද්ධ කරනවා දිස්ත්‍රික්ක කිහිපයක වියළි කාලගුණය පැවතුනා කියලා ජලසම්පාදන අඩු කරලා නෑ. ජල සම්පාදයේ කිසිදු ගැටලුවක් නෑ. හැබැයි වාරි මාර්ග ජලාශවල 56%ට වඩා යම් අඩුවීමක් වුණු ජලාශ තියෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button