ප්‍රධාන පුවත්

ජාතික සමගිය පිළිබඳ ජනපතිගෙන් දැඩි ප්‍රතිඥාවක්

ජාතික සමගිය වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ කිසිදු අවස්ථාවක ආපස්සට හැරවීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේ පැවති “කම්බන් උළෙල”ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය. එහිදී සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත් වන රටක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවද ඔහු අවධාරණය කළේය.

දෙමළ ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික හා සාහිත්‍ය උත්සවයක් වන කම්බන් උළෙල සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා හින්දු චාරිත්‍රානුකූලව පිළිගැනීමකටද ලක් විය.

නව මානවීය සමාජයක් නිර්මාණය කිරීම සඳහා සාහිත්‍යය හා සංස්කෘතිය සතු භූමිකාව ඉතා වැදගත් බව සඳහන් කළ ජනාධිපතිවරයා, ජනතාව අතර එකමුතුව ශක්තිමත් කිරීම සඳහා එම ක්ෂේත්‍රවල දායකත්වය ඉහළ බව කියා සිටියේය.

මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට එකමුතුවෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉටුකරන සේවය ඇගයීමට ලක් කරමින් කම්බන් සම්මානයද පිරිනමන ලදී.

1980 වසරේදී යාපනයේ ආරම්භ කළ සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය වාර්ෂිකව මෙම උළෙල සංවිධානය කරන අතර, සංස්කෘතික හා සමාජීය වටිනාකම් ඉදිරියට ගෙන යන පුද්ගලයින් ඇගයීමද එහි එක් අරමුණකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button