ප්‍රධාන පුවත්

හම්බන්තොට වරාය මැදපෙරදිගට වාහන ප්‍රවාහනයේ විකල්ප මධ්‍යස්ථානයක් වෙයි!

 

හම්බන්තොට වරාය මැදපෙරදිග කලාපීය රටවල් වෙත මෝටර් රථ ප්‍රවාහනය කිරීමේ විකල්ප ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස වැදගත්කමක් ලබාගෙන තිබේ. ඒ, මැදපෙරදිග කලාපයේ නාවික ප්‍රවාහන කටයුතුවලට එල්ල වී ඇති බාධා හමුවේ විකල්ප ප්‍රවාහන මාර්ග භාවිත කිරීමට සිදුවීමත් සමඟය.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ඩුබායිහි පිහිටි Al-Futtaim Logistics සමාගම අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වරාය පාලනාධිකාරිය සඳහන් කරයි. වරාය හරහා සිදුකරන මෝටර් රථ ප්‍රවාහන කටයුතු සහ දෙපාර්ශ්වය අතර පවතින ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කිරීම එහි අරමුණ වී තිබේ.

Al-Futtaim සමූහයේ උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැමිණි නියෝජිත පිරිසක් හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මෙම සාකච්ඡා පැවැත්වී ඇත. එහිදී වරායේ මෙහෙයුම් කටයුතු මෙන්ම කර්මාන්ත උද්‍යානය ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බාධා හමුවේ විකල්ප වරායන්

Al-Futtaim සමාගම ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවකට අනුව, 2026 මාර්තු මාසයේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික ප්‍රවාහනයට බාධා ඇතිවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහනය සඳහා විකල්ප වරාය මධ්‍යස්ථාන තුනක් භාවිත කර තිබේ.

එම වරායන් අතර ශ්‍රී ලංකාවේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද ඇතුළත්ය. අනෙක් වරායන් දෙක වන්නේ ඕමානයේ මස්කට්හි පිහිටි Port Sultan Qaboos සහ ඕමාන් බොක්ක ආශ්‍රිත Port Khor Fakkan ය.

මෙම විකල්ප වරායන් තුන හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන්, කුවේට් සහ සෞදි අරාබිය යන රටවල් වෙත මෝටර් රථ 25,000කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇති බව එම සමාගම පෙන්වා දෙයි.

CASCADIA සේවාවෙන් නව ප්‍රවාහන අවස්ථා

මේ අතර, පසුගිය ජුනි 09 වැනිදා ආරම්භ කළ CASCADIA RoRo Feeder Service සේවාව ද හම්බන්තොට වරාය සහ ගල්ෆ් කලාපීය වෙළෙඳපොළ අතර මෝටර් රථ ප්‍රවාහන සබඳතා ශක්තිමත් කිරීමට දායක වී තිබේ.

කැනඩාවේ මූලස්ථානය පිහිටි CASCADIA සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සේවාව හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අතර මෝටර් රථ ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසේ.

මැදපෙරදිග නාවික ප්‍රවාහනයට බාධා එල්ල වූ අවස්ථාවේදී විකල්ප සැපයුම් මාර්ග භාවිත කිරීමෙන් මෝටර් රථ අලෙවි නියෝජිතයන් වෙත වාහන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූ බව Al-Futtaim සමාගම සඳහන් කර ඇත.

ඒ අනුව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ Al-Futtaim සමාගම අතර පවතින ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට අවධානය යොමුව ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button