
ආසියානු නැගීඑන ක්‍රිකට් කිරුළ තියුණු සටනකින් ශ්‍රී ලංකාවට
ආසියානු නැගීඑන ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අද (29) සමත් විය. ඒ, කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවති අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගනිමින් පරාජයට පත් කිරීමත් සමඟය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 216ක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.
පාකිස්තාන ඉනිම වෙනුවෙන් ෂාහ්සායිබ් ඛාන් ලකුණු 60ක් රැස්කළ අතර ෂමිල් හුසේන් ලකුණු 40ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් රවිඳු ප්‍රනාන්දු ලකුණු 26ක් ලබාදී කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර ගරුක සංකේත් ලකුණු 46කට කඩුලු 3ක් බිඳහෙළීය.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 217ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ කඩුලු 9ක් දැවී තිබියදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.
ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය වෙනුවෙන් නිෂාන් මධූෂ්ක ලකුණු 87ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර පවන් රත්නායක ලකුණු 30ක් රැස් කළේය.
පාකිස්තාන පන්දු යැවීමේදී අලී රාසා ලකුණු 58ක් ලබාදී කඩුලු 3ක් දවාගත්තේය.
ඒ අනුව අවසන් මොහොත දක්වාම තියුණු මුහුණුවරක් ගත් අවසන් මහා තරගයෙන් එක් කඩුල්ලක ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් විය.



