ව්‍යාපාරික

ආනයන ගෙවීම් සඳහා නව රෙගුලාසි අද සිට

ශ්‍රී ලංකාවේ ආනයන කටයුතු සඳහා සිදු කරන විදේශ මුදල් ගෙවීම් වඩාත් විධිමත්ව අධීක්ෂණය කිරීමේ අරමුණින් නව නියාමන රෙගුලාසි හඳුන්වා දෙමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ මෙම නව නියෝග ප්‍රකාශයට පත් කර ඇත.

නව රෙගුලාසි අනුව, ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමක්ම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් යටතේ ලියාපදිංචි කළ යුතු අතර, එම ගනුදෙනුවලට අදාළ තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත යොමු කිරීමද අනිවාර්ය වේ.

ආනයනකරුගේ TIN අංකය, ලිපිනය, ප්‍රතිලාභියාගේ විස්තර, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල සහ මුදල් ඒකකය, ගෙවීම් හා භාරදීමේ කොන්දේසි, Proforma Invoice අංකය ඇතුළු තොරතුරු රේගුවට ලබාදිය යුතු බව සඳහන්ය.

එසේම, භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි සුදුසුකම් ලත් ආනයනකරුවන් ලෙස ලියාපදිංචි වී තිබීම අනිවාර්ය කර තිබේ.

ලියාපදිංචි නොවූ ආනයනකරුවන් වෙනුවෙන් අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට වාණිජ බැංකුවලට අවසර නොමැති බවද රෙගුලාසිවල දැක්වේ.

2026 ජූනි 19 වැනිදා සිට බලපැවැත්වෙන මෙම නව ක්‍රමවේදය මඟින් ආනයන ක්ෂේත්‍රයේ විනිවිදභාවය ඉහළ නැංවීමත්, විදේශ විනිමය ගලායාම නිසි ලෙස නිරීක්ෂණය කිරීමත් අපේක්ෂා කරන බව රජය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button