ප්‍රධාන පුවත්

පැල මිලියනයක් රෝපණයට රජයෙන් සැලසුමක්

පැල මිලියනයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ මාර්ග දෙපස පැල ලක්ෂයක් සිටුවීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

“හරිත මාවත – රටට හුස්මක්, මගට සෙවනක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී, ව්‍යාපෘතිය සඳහා ජනතාවගේ පුළුල් සහභාගිත්වය ලබාගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව මාර්ග දෙපස ජීවත් වන ජනතාව මෙන්ම පාසල් ප්‍රජාව, පෞද්ගලික අංශය, ව්‍යවසායකයන් සහ රාජ්‍ය ආයතනද මෙම වැඩසටහනට සක්‍රීයව සම්බන්ධ කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින A සහ B ශ්‍රේණියේ මාර්ග ආශ්‍රිතව, ඒ ඒ ප්‍රදේශවල පරිසරයට ගැළපෙන ශාක වර්ග රෝපණය කිරීමටද සැලසුම් කර තිබේ.

මුරුත, පලු, බුළු, සියඹලා, මල් ඇහැල, රජරට ඇහැල, මඟුල් කරඳ, මයිල, පිහිඹියා, මදටියා, ගොරකා, දිවුල්, ඇටඹ, නා, කොහොඹ, රොබෝසියා, කළු මැදිරිය, දං, වෙරළු, කටු අනෝදා, කොස්, අඹ, පෙතන්, මී, කුඹුක් සහ බෙලි ඇතුළු ශාක වර්ග රැසක් ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.

රෝපණය කරන පැල නිසි ලෙස ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ.

වායු දූෂණය අවම කර මාර්ග භාවිත කරන ජනතාවට වඩාත් සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. එමෙන්ම කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ ගාල්ල වැනි නගරවල උෂ්ණත්වය පාලනය කිරීමට මෙන්ම නගරවල පරිසර සෞන්දර්යය ඉහළ නැංවීමටද මෙයින් අපේක්ෂා කෙරේ.

බියගම, කටුනායක සහ සීතාවක ඇතුළු කාර්මික කලාපවල වායු දූෂණය අවම කිරීමද ව්‍යාපෘතියේ තවත් අරමුණක් වේ. කර්මාන්ත ආශ්‍රිතව නිකුත් වන දුම ස්වාභාවිකව අවශෝෂණය කරගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවද මෙම ව්‍යාපෘතියට එක්වීමට නියමිතය.

මීට අමතරව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රැසක සහභාගිත්වයෙන් මෙම දැවැන්ත රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button