
අමෙරිකාව නීතිවිරෝධී ලෙස ඉතාලියෙන් රැගෙන ගිය පුරාවස්තු යළි භාරදෙයි
අමෙරිකාව විසින් නීතිවිරෝධී ලෙස ඉතාලියෙන් ඉවත් කරගෙන ගිය වටිනා පුරාවස්තු 337ක් යළි ඉතාලියට භාරදී තිබේ. මෙය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම සංස්කෘතික දේපළ ආපසු ලබාදීමක් ලෙස සැලකේ.
මෙම පියවර හරහා ඉතාලිය සහ අමෙරිකාව අතර පවතින සමීප සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. යළි ලබාදුන් පුරාවස්තු අතර පුරාණ රෝම මූර්ති, ග්‍රීක කලාකෘති, එට්රස්කන් හා ඊජිප්තු නිර්මාණ ඇතුළත් වේ.
මෙම පුරාවස්තු සමූහය රෝමයේ ඉතාලි Carabinieri Cultural Heritage Protection Unit මූලස්ථානයේදී ප්‍රදර්ශනය කර තිබේ. වාර්තා අනුව, නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශන මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම භාණ්ඩ සොයාගෙන ඇත.
මෙයට ක්‍රි.පූ. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 3 වන සියවස දක්වා කාලයට අයත් රෝම කාසි, ස්වර්ණාභරණ, පිඟන් මැටි භාණ්ඩ සහ වාස්තු විද්‍යාත්මක කොටස් ඇතුළත් වේ. එසේම, මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කිරිගරුඬ හිසක් සහ හර්කියුලේනියම් නගරයෙන් සොරාගත් ලෝකඩ මූර්තියක්ද ඒ අතර වේ.
මෙම මෙහෙයුම සඳහා Manhattan District Attorney’s Office විසින් ද විශාල දායකත්වයක් ලබාදී ඇති අතර, ඔවුන් පමණක් භාණ්ඩ 221ක් සොයා ගැනීමට සමත්ව තිබේ.
ඉතාලියේ අමෙරිකානු තානාපති ටිල්මන් ජේ. ෆර්ටිටා සඳහන් කර ඇත්තේ, ඉතාලිය සතු අසමසම ඉතිහාසය සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් වටිනා කලාකෘති යළි මව්බිමට ගෙන ඒම සඳහා අමෙරිකාව ඉදිරියටත් සහාය ලබාදෙන බවයි.
ඉතාලි සංස්කෘතික අමාත්‍ය ඇලෙස්සැන්ඩ්‍රෝ ජුලි ප්‍රකාශ කර ඇත්තේ, සංස්කෘතික උරුම ආරක්ෂාව යනු ජාතික අනන්‍යතාවය තහවුරු කිරීමක් මෙන්ම අනාගත පරපුරට වටිනාකම් දායාද කිරීමක් බවයි.
දැනට සොයාගෙන ඇති මෙම පුරාවස්තු පිළිබඳ වැඩිදුර අධ්‍යයන අවසන් කිරීමෙන් අනතුරුව, ඒවා ඉතාලිය පුරා පිහිටි මුල් ස්ථාන වෙත යළි යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.





