
අමෙරිකාවෙන් ශ්‍රී ලංකා භාණ්ඩවලට 12.5% අමතර ආනයන බද්දක් යෝජනා කරයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 10% සිට 12.5% දක්වා අතිරේක ආනයන බදු පැනවීමේ යෝජනාවක් අමෙරිකානු පරිපාලනය විසින් ඉදිරිපත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ අමෙරිකානු වෙළෙඳපොළට ඇතුළුවීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම මෙම යෝජනාවට හේතු වී ඇති බවයි.
යෝජනාව අනුව කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක අතිරේක බද්දක් පැනවීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා 12.5%ක අමතර බද්දක් යෝජනා කර ඇත.
අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සඳහන් කරන්නේ බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීම හා අදාළ නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
එමෙන්ම ඇඟලුම් හා රෙදිපිළි භාණ්ඩ සඳහා අඩු බදු යටතේ සීමිත ප්‍රමාණයක් අමෙරිකානු වෙළෙඳපොළට ඇතුළත් කිරීමට විශේෂ යාන්ත්‍රණයක් ද යෝජනා කර ඇති අතර, ඒ පිළිබඳ සවිස්තර තොරතුරු මෙතෙක් නිකුත් කර නොමැත.
මෙම යෝජනාව සම්බන්ධ මහජන අදහස් ජූලි 6 දක්වා භාරගන්නා අතර, ඒ පිළිබඳ මහජන විභාගය ජූලි 7 දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.



