කාලගුණය

දිට්වා බලපෑමෙන් නායයෑම් අවදානම ඉහළට

නායයෑම් අවදානම සම්බන්ධයෙන් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, පසුගිය දින කිහිපයේ පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන බවය.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නායයෑම් සිදු නොවූ නමුත් පස් සහ ගල් පහළට ගලා ආ ස්ථාන තවදුරටත් අවදානම් සහිත බව ඔහු පෙන්වා දුන්නේය. එවැනි ප්‍රදේශවලට ඉදිරියේදී දැඩි වර්ෂාපතනයක් ලැබුණහොත් නායයෑම් සිදුවිය හැකි බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවද ඔහු පැවසීය.

ඉදිරියේදී අපේක්ෂිත අධික වර්ෂාව හමුවේ නායයෑම් සක්‍රීය වීමේ අවදානමක් පවතින බව සඳහන් කළ ආචාර්ය සේනාධීර මහතා, මේ වනවිට නායයෑම් හේතුවෙන් අධි අවදානම් තත්ත්වයේ පසුවන පවුල් 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම, අධික වර්ෂාවක් පවතින අවස්ථාවක නායයෑම් අවදානමක් සහිත ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයින් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.

නායයෑම් සිදුවන ප්‍රදේශ නැරඹීම සඳහා කිසිදු අවස්ථාවක එම ස්ථාන වෙත නොයන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසූ සම්පූර්ණ ප්‍රකාශය:

“තමන්ගේ ආරක්ෂාව සලා ගන්න. විශේෂයෙන් මේ වනවිට පසුගිය වසර 15 ඇතුළත අධි අවදානම් පවුල් 15,000ක් පමණ අපි හඳුනාගෙන තියෙනවා. පවුල් 5,000ක් විතර නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. හැබැයි මේ දිට්වා සිද්ධිය සමඟ නැවත අධි අවදානම් පවුල් 16,793ක් මේ වෙද්දි හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම තවත් වැඩිවෙනවා. මොකද නිරීක්ෂණ කටයුතු අවසන් වෙලා නැති නිසා. මේකෙන් පේනවා මේක කොච්චර තද බල විදියට අපිට බලපාලා තියෙනවා ද කියලා. ඔක්කෝම එකතුව ගත්තොත් පවුල් 30,000කට වැඩිය අධි අවදානම් තත්ත්වයේ පවතිනවා. තොරතුරු නැති පවුල් මීට වඩා වැඩි වෙන්න පුළුවන්.

තමන්ගේ ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබෙනවා නම් ආරක්ෂිත ස්ථාන වෙත ගිහින් ජීවිත ආරක්ෂාව සලසා ගන්න. දිට්වාවලින් අනතුරුව අපි ආරක්ෂිත යැයි හඳුනාගෙන තිබූ ස්ථානත් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මෙය මීට පෙර අත්නොදැකපු තත්ත්වයක් අපිට මුහුණදෙන්න වුණ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා සියලු නිවේදන ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ගෙනයන බොරු ප්‍රචාරයන්ට ඔබ සවන් දෙන්න එපා. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න එපා. විශේෂයෙන්ම රජයේ ආයතන නිල වශයෙන් ලබාදෙන තොරතුරු මත පදනම්ව තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button