
හම්බන්තොට වරායේ වාහන 1025ක් තවමත් නිදහස් කරගෙන නෑ
හම්බන්තොට වරායේ වාහන 1025ක් මෙරටට ආනයනය කර තිබියද, ඒවා ආනයනකරුවන් විසින් මෙතෙක් නිදහස් කරගෙන නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එම වාහන අතරින් 625ක් මෙරටට ආනයනය කර මාස හයකටත් වැඩි කාලයක් ගත වී ඇති බවයි. එම වාහන සම්බන්ධයෙන් කිසිදු රේගු වරදක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
රේගු ආඥා පනතේ 129 වන වගන්තියට අනුව, කිසිදු රේගු වරදක් නොමැතිව නියමිත කාලය තුළ නිදහස් කරගෙන නොමැති වාහන වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බවද ඔහු පැවසීය.
නීති ප්‍රකාරව මෙරටට ආනයනය කරන ඕනෑම භාණ්ඩයක් මාසයක් ඇතුළත අදාළ බදු ගෙවා නිදහස් කරගත යුතු අතර, එසේ නොකළහොත් අදාළ පනත යටතේ එම භාණ්ඩ අලෙවි කර රජයට හිමි බදු මුදල් අයකර ගැනීමට ප්‍රතිපාදන පවතින බවද සඳහන් වේ.
එම අලෙවියෙන් ලැබෙන මුදලින් රජයට අයවිය යුතු බදු සහ වරාය හා ගුදම් ගාස්තු පියවා, ඉතිරි වන මුදලක් තිබේ නම් එය අදාළ ආනයනකරු වෙත ලබාදීමට කටයුතු කරන බව චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.
ආනයනය කළ භාණ්ඩ මාසයකට වැඩි කාලයක් වරායෙන් නිදහස් කරගෙන නොමැති අවස්ථාවලදී ඒ පිළිබඳව වරාය පාලකවරයා විසින් ශ්‍රී ලංකා රේගුව දැනුවත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, සාධාරණ හේතුවක් මත වාහන නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බව ආනයනකරුවෙකු විසින් දැනුම් දෙන්නේ නම්, එම කරුණු සලකා බැලීමේ හැකියාවද පවතින බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



