
අධ්‍යාපනය යනු විභාග සමත් වීම සහ රැකියාවක් ලබා ගැනීම පමණක් නොවේ – අගමැති
2026 ජනවාරි 28
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුම පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, දරුවන්ගේ දෛනික ජීවිතයේ ආකල්ප සහ හැසිරීම් වල කොටසක් බවට පත් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පළ කළේ අද (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති “ආහාර අංශයේ චක්‍රීය ආර්ථික ව්‍යාපෘතිය (2024–2027)” යටතේ, දේශීය චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික වැඩමුළුව අමතමිනි.
යුරෝපීය සංගමයේ මූල්‍ය දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ Global Gateway වැඩසටහන සමඟ ක්‍රියාත්මක වන මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු ලෙස,
පාසල් අධ්‍යාපනයට චක්‍රීය ආර්ථික සංකල්ප ඇතුළත් කිරීමේ අවස්ථා සහ අභියෝග හඳුනා ගැනීම,
ප්‍රතිපත්ති සම්පාදකයින්, යෞවන හා නිපුණතා සංවර්ධන අංශ සහ අධ්‍යාපන පාර්ශවකරුවන් සමඟ එක්ව ප්‍රායෝගික ක්‍රියාත්මක සැලසුම් සකස් කිරීම,
2027 වසර දක්වා මෙරට ආහාර ක්ෂේත්රය තුළ තිරසාර චක්‍රීය ආර්ථික ක්‍රමවේද ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනික පදනම ගොඩනැගීම
යනාදිය සඳහන් විය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ප්‍රකාශ කළාය:
“අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවේ. සැබෑ අධ්‍යාපනයෙන් පුද්ගලයෙකු තුළ සමාජය හා පරිසරය කෙරෙහි වගකීමක් සහ බැඳීමක් ඇති විය යුතුයි. අද අපට වඩාත් වැදගත් වන්නේ සම්පත් නැවත නැවත භාවිතයට ගන්නා ‘චක්‍රීය ආර්ථික’ සංකල්පයයි.”
“මෙය අපගේ පැරැණි පරපුරට අලුත් දෙයක් නොවෙයි. මගේ ආච්චි අම්මා ආහාර අපතේ යාම අවම කරගත් ආකාරය අදටත් මට මතකයි. අද අප ඉවත දමන පැෂන් ෆෘට් ලෙලිවලින් ඇය එදා රසවත් ජෑම් සහ චට්නි සෑදුවා. කිරි බෝතල්වල ලෝහ පියන් පවා ඉවත නොදමා නිවස අලංකාර කිරීමට යොදා ගත්තා. ‘කිසිවක් නාස්ති නොකිරීම’ ඔවුන්ගේ ජීවන දර්ශනයක් වුණා.”
“නමුත් අද කාන්තාව දැඩි කාර්යබහුල ජීවිතයකට මුහුණ දී සිටිනවා. රැකියාව සහ දරුවන්ගේ කටයුතු අතර, කාලය නොමැතිකම නිසා ආහාර අපතේ යාම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. මෙය කාන්තාවගේ පමණක් වගකීමක් නොව, නිවස තුළ සියලු දෙනා එක්ව බෙදාගත යුතු වගකීමක්.”
“තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ආහාර බෙදා ගැනීම, තමන් භාවිතා කළ පිඟාන තමන්ම පිරිසිදු කිරීම සහ සම්පත් සුරැකීම වැනි දෑ පාඩම් ලෙස නොව ජීවන රටාවක් ලෙස දරුවන්ට හුරු කළ යුතුයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා.”



