ප්‍රධාන පුවත්

රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට උත්සාහ කරනවා – විපක්ෂ නායක

ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට වත්මන් රජය උත්සාහ කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

විපක්ෂ නායක කාර්යාලයේදී සමගි නීතිඥ සංගමයේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හා ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් වත්මන් රජයට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේදී බලය බෙදීම මෙන්ම සංවරණ හා තුලන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වන නමුත්, රජය එම ක්‍රමවේදය දුර්වල කිරීමට කටයුතු කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා පැවසීය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැනි කරුණු සම්බන්ධයෙන් එක්සත් රාජධානිය වැනි රටවල පවා දීර්ඝ කාලයක් පක්ෂ හා විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තීරණ ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් ශ්‍රී ලංකාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එවැනි පුළුල් සාකච්ඡා හෝ සාමූහික එකඟතාවක් ඇති කර ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කර නොමැති බවටද ඔහු චෝදනා කළේය.

ජාති, ආගම්, කුල හෝ දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්විය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විධායකයේ වගවීම තහවුරු කිරීම සඳහා ගම්, වසම්, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් “ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප” ස්ථාපිත කළ යුතු බවටද ඔහු යෝජනා කළේය.

මහජන සෛරීත්වය තහවුරු කිරීම වෙනුවෙන් විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට නායකත්වය දීමට තමන් සූදානම් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අතර, සමගි නීතිඥ සම්මේලනය හරහා නොමිලේ නීති උපදෙස්, ජංගම නීති සේවා සහ නීති සායන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මූලික හා මානව අයිතිවාසිකම් දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වලට පමණක් සීමා නොකර සමාජීය, ආර්ථික සහ ආගමික අයිතිවාසිකම් දක්වා පුළුල් කළ යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button