
එක්නැලිගොඩ නඩුව යළි විභාගයට
දීර්ඝ කාලයක් තිස්සේ අඩාල වී තිබූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩු විභාගය යළි ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
මෙම නඩුව මීට පෙර නාමල් බලල්ලේ, මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගෙන තිබුණද, නාමල් බලල්ලේ මහතා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩතහනමට ලක්වීම සහ මහේන් වීරමන් මහතා විශ්‍රාම ගැනීම නිසා නඩු විභාගය මාස කිහිපයක් නතර වී තිබුණි.
ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇති අතර, එය නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.
නඩුව ඊයේ (04) මෙම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර, එය මැයි 08 වැනිදා සිට සතිපතා විභාගයට ගැනීමට නියම කර ඇත. එමෙන්ම මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ද නියෝග කර තිබේ.
මෙම නඩුව මුලින්ම අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ විභාගයට ගැනුණද, මෙවර එය කැඳවා තිබුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අධිකරණයකදීය.
2010 ජනවාරි 24 සිට 27 දක්වා කාලය තුළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණේ යහපාලන ආණ්ඩු සමයේදීය.
නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනෙකු නම් කර ඇත.



