සෞඛ්‍යය

ඩෙංගු රෝගීන් දිනකදී 1000 ඉක්මවයි

ගතවූ පැය 24ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ඒ අනුව මේ වසර තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු ආශ්‍රිත මරණ 28ක් ද වාර්තා වී තිබේ.

සාමාන්‍යයෙන් වසංගත අවදානමක් නොමැති කාලවලදී දෛනිකව රෝගීන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන නමුත්, පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් එය 600ත් 650ත් අතර මට්ටමකට ඉහළ ගොස් තිබූ බව වෛද්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී පමණක් රෝගීන් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා වාර්තා වීම දැඩි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් බවද ඔහු අවධාරණය කළේය.

ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ධාරිතාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් සෞඛ්‍ය පද්ධතියට බරපතළ අභියෝග මතුවිය හැකි බව ද පෙන්වා දී තිබේ.

එමෙන්ම රෝගීන්ට ප්‍රතිකාර සැපයීමේ කාර්යයේ නිරත වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි ශාරීරික හා මානසික පීඩනයකට මුහුණ දෙමින් සිටින බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේය.

”ඇත්තටම රෝගීන් වාර්තා වීම සාමාන්‍ය කාලය තුළදී එනම් අවදානමක් නැති අවස්ථාවකදී සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ 150ක්, 200ක් අතර ප්‍රමාණයක්. නමුත් දැන් මේ, මේ අවදානම් තත්ත්වය ආවට පස්සේ සාමාන්‍යයෙන් 600ක්, 650ක් පමණ දෛනිකව රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් දැන් ඊයේ බැලුවහම ඒක සාමාන්‍යයෙන් 1000 ඉක්මවලා තියෙනවා. මේ රෝගීන් වාර්තා වීම තාම වැඩිවෙමින් පවතිනවා. ඉතින් මේක අපි අඩුකරගත යුතු වෙනවා. මේක අවසානයේදී බලපාන්නේ අපේ රෝහල් පද්ධතියට. එතකොට මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් එක්ක රෝහලක තියෙන ධාරිතාව ඉක්මවා ගිහින් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ආවොත් රෝහල් පද්ධතියේ කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව එහි ඉන්න කාර්ය මණ්ඩලය ලොකු මානසික හා ශාරීරික පීඩාවට පත් වෙනවා රෝගීන් රැක බලා ගැනීමේදී.. ඒ නිසා ඒ තුළ අපිට යම් යම් අවස්ථාවලදී මරණ සංඛ්‍යාවත් වැඩිවෙන්න පුළුවන්. අනිත් එක තමයි ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා ජනතාවත් රෝහල් කරා පැමිණෙනවා. ඉතින් ඒ අයටත් මේක ලොකු අසාධාරණයක්.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button