
ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා අසාර්ථකයි – පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
මැදපෙරදිග උණුසුම තවදුරටත් ඉහළ යන අතර, බලවත් රටවල් අතර සාමය සොයන උත්සාහයන් තවමත් සාර්ථක වීමට දුරස්ථව පවතින බව නැවතත් අනාවරණය වෙයි.
ඉරානය සහ එක්සත් ජනපදය අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
පැය 12කට අධික කාලයක් පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කර ඇත්තේ, තම පාර්ශ්වය සද්භාවයෙන් සාකච්ඡාවට එක්වූවත් ඉරානය ඇමරිකානු කොන්දේසි පිළිගැනීමට සූදානම් නොවූ බවයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් නවතා දැමීම මෙම සාකච්ඡාවල මූලික අරමුණක් වූ බවත්, එම කරුණ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වූ බවත්ය.
මෙම තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළ අතර, සාකච්ඡා සඳහා මැදිහත් වූ පාකිස්තානයට ස්තූතියද පළ කළේය.
ඊයේ (11) පස්වරුවේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සෙරීනා හෝටලයේදී ආරම්භ වූ මෙම සාකච්ඡාවලදී, න්‍යෂ්ටික ගැටළුව, සම්බාධක ඉවත් කිරීම, යුද වන්දි සහ කලාපීය ආරක්ෂාව ඇතුළු වැදගත් කරුණු රැසක් ඉරානය විසින් ඉදිරිපත් කර තිබේ.
ඉරාන මාධ්‍ය වාර්තා අනුව, සාකච්ඡාවල පොදු එකඟතාවයක් ඇති වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය වෙනස් නොවන බවද ඉරානය පෙන්වා දී ඇත.
මේ අතර, ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සාකච්ඡාවල සාර්ථකත්වය විශ්වාසය මත රඳා පවතින බවයි.
තවද, අධික හා නීතිවිරෝධී ඉල්ලීම්වලින් වැළකී, ඉරානයේ නීතිමය අයිතිවාසිකම් පිළිගන්නා ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



