ප්‍රධාන පුවත්

ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන මුදල් ලෙස බිලියන 6.7ක්

2027 සෞඛ්‍යයට ADB වෙතින් බිලියන 6.7ක්

ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන මුදල් ලෙස 2027 වසරේදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 6.7ක මුදලක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ප්‍රතිපාදන දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන 2025-2030 මූල්‍ය ආධාර වැඩසටහන යටතේ ලබාදීමට නියමිතය.

විශ්ව සෞඛ්‍ය ආවරණය වෙනුවෙන් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සහ පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතර, 2027 වසරට අදාළ “ප්‍රතිඵල පාදක සැලසුම් සංවර්ධන” වැඩසටහනේ සමාරම්භය අද (12) දඹුල්ලේදී සිදුකෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතාද සහභාගී වී තිබේ.

2027 වසර සඳහා එක් පළාතකට එක් සංවර්ධන සැලැස්මක් බැගින් පළාත් 9ට අදාළ සැලසුම් සමාලෝචනය කිරීමද මෙහිදී සිදුකර ඇත. එක් පළාතකට රුපියල් මිලියන 750ක පමණ මුදලක් වෙන් කිරීමට නියමිත අතර, අදාළ සැලසුම් නොවැම්බර් මස මැද වනවිට මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට පළාත් මට්ටමින් මුදල් වෙන්කර සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

“ප්‍රතිඵල හෝ ඉලක්ක මත පදනම් වූ ණය” වැඩසටහන යටතේ සමස්ත වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ණයක් සහ ඩොලර් මිලියන 6.9ක විදේශ ප්‍රදානයක්ද අනුමත කර තිබේ.

මෙම ක්‍රමවේදය යටතේ එකඟ වූ සෞඛ්‍ය ඉලක්ක හෝ දර්ශක සපුරා ඇති බව ස්වාධීනව තහවුරු කිරීමෙන් පසුව අදියරෙන් අදියර මුදල් නිදහස් කෙරෙනු ඇත.

පළාත් 9හි සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහ මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව අදාළ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කළ යුතු අතර, මුදල් කොමිෂන් සභාව මගින් එම සංවර්ධන සැලසුම් නිරන්තරයෙන් සමාලෝචනය කිරීමට නියමිතය.

මීට අමතරව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහාද ආසියානු සංවර්ධන බැංකුවෙන් වෙනම ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, ඊට අදාළ සැලසුම් මේ වනවිට සකස් කර මුදල් අමාත්‍යාංශයට භාරදී අවසන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button