
ශ්‍රී ලංකාව – වියට්නාමය සංචාරක පැකේජය
ශ්‍රී ලංකාව වියට්නාමය සංචාරක පැකේජය හඳුන්වාදීම සඳහා දෙරට ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ඍජු ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයකින් අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම නව සංචාරක පැකේජය හරහා දෙරටේ සංචාරක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
එහිදී ආගමික හා සංස්කෘතික සබඳතා පදනම් කරගෙන ආගමික සංචාරකත්වය ප්‍රවර්ධනය කිරීමත්, සංස්කෘතික, සෞඛ්‍ය සහ වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍ර දියුණු කිරීමත් ප්‍රධාන අරමුණක් ලෙස හඳුන්වා දී ඇත.
වියට්නාමයේ ප්රමුඛ ගුවන් සේවයක් වන වියට්ජෙට්, කොළඹ සහ හෝ චි මිං නගරය අතර සිය ප්‍රථම ඍජු ගුවන් ගමන් සේවාව ඊයේ (18) නිල වශයෙන් ආරම්භ කළ අතර, එම අවස්ථාවට එක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එම සේවාව උණුසුම් ලෙස පිළිගනිමින් නව මෙහෙයුම් සඳහා සුබ පැතුම් එක් කළේය.
මෙම ඍජු ගුවන් සම්බන්ධතාව පසුගිය වසරේ දෙරටේ රාජ්‍ය නායකයන් අතර පැවති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වියට්ජෙට් ගුවන් සේවය සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, එම මාර්ගය ඔස්සේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයේ අනෙකුත් නගර මෙන්ම නැගෙනහිර ආසියාව, ගිනිකොනදිග ආසියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු ගමනාන්ත රැසකට පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාවද හිමි වනු ඇත.



