ප්‍රධාන පුවත්

මෙරට සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 97.952ක්

රාජ්‍ය ණය ඩොලර් බිලියන 97.952ක් දක්වා ඉහළට

පසුගිය ජූනි 30 වන විට මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

අගෝස්තු 28 වැනිදා නිකුත් කර ඇති එම වාර්තාවට අනුව, එම කාලය වන විට මධ්‍යම රජයේ ණය පමණක් රුපියල් ට්‍රිලියන 31.999ක් හෙවත් ඩොලර් බිලියන 95.047ක් ලෙස වාර්තා වී තිබේ.

මීට අමතරව පළාත් සභා සහ පළාත් ආයතන සතු ණය ඩොලර් මිලියන 20ක් වන අතර, රජයේ ඇප සහිත රාජ්‍ය ව්‍යවසායන්ගේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.885ක් ලෙස සටහන් වී ඇත.

දේශීය ණය ඩොලර් බිලියන 57කට ආසන්නයි

ජූනි මාසය අවසන් වන විට මධ්‍යම රජයේ දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57.039ක් හෙවත් රුපියල් ට්‍රිලියන 19.203ක් ලෙස වාර්තා වී තිබේ.

එහි නොගෙවූ භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 47.732ක් හෙවත් රුපියල් බිලියන 16,069ක් වන අතර, නොගෙවූ භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම ඩොලර් බිලියන 7.045ක් හෙවත් රුපියල් බිලියන 2,372ක් ලෙස දැක්වේ.

විදේශ ණය ඩොලර් බිලියන 38 ඉක්මවයි

මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය ජූනි 30 වන විට ඩොලර් බිලියන 38.008ක් දක්වා ඉහළ ගොස් ඇත.

2026 පළමු කාර්තුව අවසානයේදී ඩොලර් බිලියන 37.468ක්ව පැවති විදේශ ණය ප්‍රමාණය දෙවන කාර්තුව අවසන් වන විට ඩොලර් බිලියන 540කින් ඉහළ ගොස් තිබේ.

එම විදේශ ණය අතරින් ඩොලර් බිලියන 14.802ක් බහුපාර්ශ්වික ණය ලෙසත්, ඩොලර් බිලියන 12.409ක් වාණිජ ණය ලෙසත්, ඩොලර් බිලියන 10.797ක් ද්විපාර්ශ්වික ණය ලෙසත් වාර්තා වී ඇත.

ද්විපාර්ශ්වික ණය අතර චීනය ඉදිරියෙන්

රටවල් අනුව ද්විපාර්ශ්වික ණය සලකා බැලීමේදී චීනයට අදාළ නොගෙවූ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.0067ක් ලෙස දැක්වේ.

ජපානයට අදාළ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.2727ක් වන අතර, ඉන්දියාවට අදාළ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 853.9ක් ලෙස වාර්තා වී තිබේ.

බහුපාර්ශ්වික ණයවල විශාලතම කොටස ADB වෙත

බහුපාර්ශ්වික ණය අතර ආසියානු සංවර්ධන බැංකුව වෙත ගෙවීමට ඇති මුදල ඩොලර් බිලියන 6.8851ක් ලෙස සටහන් වී ඇත.

ලෝක බැංකුව වෙත ඩොලර් බිලියන 4.6662ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඩොලර් බිලියන 2.6152ක් ගෙවීමට ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ඩොලර් බිලියන 10කට වැඩියි

මෙරට බාහිර වාණිජ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12.4091ක් ලෙස වාර්තා වී ඇති අතර, එයින් ඩොලර් බිලියන 10.0071ක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ පවතී.

චීන ආසියානු සංවර්ධන බැංකු කාලීන ණය පහසුකම් යටතේ තවත් ඩොලර් බිලියන 2.402ක් වාණිජ ණය ලෙස පවතින බවද සඳහන් වේ.

2024 වසරේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව නිකුත් කළ නව ස්වෛරී බැඳුම්කරවල කල්පිරීමේ දිනයන් 2028 සිට 2038 දක්වා කාල පරාසයක පවතින බව වාර්තාවේ දැක්වේ.

දෙවන කාර්තුවේ ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 2,698.6ක්

මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන විට රජය විසින් සිදුකර ඇති සමස්ත ණය සේවා ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 2,698.6ක් බවද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි.

ඉන් දේශීය ණය සඳහා පොලී ඇතුළුව රුපියල් බිලියන 2,441.6ක් ගෙවා ඇති අතර, විදේශ ණය වෙනුවෙන් රුපියල් බිලියන 257ක් ගෙවා තිබේ.

විදේශ ණය ගෙවීම් ඩොලර් අගයෙන් සැලකීමේදී ප්‍රධාන ගෙවීම් සඳහා ඩොලර් මිලියන 573.9ක් සහ පොලී ගෙවීම් සඳහා ඩොලර් මිලියන 230.4ක් වැය වී ඇත. ඒ අනුව සමස්ත බාහිර ණය සේවා ගෙවීම ඩොලර් මිලියන 804.3කි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්ද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ වාර්තාවේ කරුණු සඳහන් කර තිබේ.

Official Creditor Committee, චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් පියවර රැසක් අවසන් කර ඇති බව එහි දැක්වේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හුවමාරුව 2024 දෙසැම්බර් මාසයේදී ආසන්න වශයෙන් සියයට 98ක සහභාගීත්ව අනුපාතයක් සහිතව අවසන් කර තිබේ.

ජපානය, ඉන්දියාව, ප්‍රංශය, හංගේරියාව, සෞදි අරමුදල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ජර්මනිය ඇතුළු රටවල් සමග ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද පියවර ගෙන ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

එම ගිවිසුම්වලට අනුව අදාළ ණයහිමි හවුල්කරුවන් වෙත සාමාන්‍ය ණය සේවාකරණය නැවත ආරම්භ කර ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් රටවල් 13කට අදාළ ණය සේවාකරණය සම්බන්ධ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button