
අදත් ප්‍රදේශ රැසකට තද වැසි අවධානමක්
ශ්‍රී ලංකාව අවට පවතින පහළ වායුගෝලීය කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුළත් අඛණ්ඩව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (08) පස්වරු 1.00ට පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබිය හැකි බව ද නිවේදනය කර ඇත.
එසේම නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.



