
අජිත් රෝහණ විශ්‍රාම දිවියට සමුගනී
අජිත් රෝහණ මහතා වසර 38ක පොලිස් සේවයෙන් අනතුරුව විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ඔහුට සුබපැතුම් එක් කිරීම සඳහා විශේෂ හමුවක් පවත්වා තිබේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව ඊයේ (18) පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණු අතර, අජිත් රෝහණ මහතාගේ පවුලේ සාමාජිකයන්ද ඊට එක්ව සිටියහ.
1966 සැප්තැම්බර් 11 වනදා උපත ලැබූ ඒ මහතා කනම්පැල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා තිබේ.
1988 මාර්තු 15 වනදා සෘජුවම උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ අජිත් රෝහණ මහතා සිය පළමු රාජකාරි පත්වීම ලෙස තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව කටයුතු කළේය.
ඉන් අනතුරුව ලුණුගම්වෙහෙර සහ වදුරඹ පොලිස් ස්ථානවල සේවය කළ ඒ මහතා, අඟුණුකොළපැලැස්ස සහ වලස්මුල්ල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා ලෙසද රාජකාරි කර තිබේ. එම කාලය තුළ ඔහු පොලිස් පරීක්ෂක නිලයට උසස්වීමක්ද ලබා ඇත.
1999 වසරේදී සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා පැවති තරග විභාගය සමත් වූ ඔහු, 2005 වසරේදී සුඩානයේ සහ 2010 වසරේදී හයිටියේ පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහාද එක්ව තිබේ.
2007 වසරේදී පොලිස් අධිකාරී නිලයට උසස් වූ අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථාන විභාග කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස සේවය කරන අතරතුර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන ඇත.
අනතුරුව නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත් වූ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.
2012 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයටත්, 2016 වසරේදී නියෝජ්‍ය පොලිස්පති නිලයටත් උසස් වූ ඒ මහතා 2021 ජූනි 30 වනදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් වී ඇත.
දීර්ඝ පොලිස් සේවා කාලය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය ඇතුළු වගකීම් සහගත තනතුරු රැසක් හෙබවූ අජිත් රෝහණ මහතාට පොලිස් සේවය තුළ පිරිනමන සම්මාන පදක්කම්, විශේෂ පොලිස්පති ප්‍රශංසා සහ වැටුප් වර්ධක රැසක්ද හිමිව තිබේ.
මෙම විශේෂ හමුවේදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඔහුගේ ඉදිරි විශ්‍රාම දිවිය සඳහා සුබපැතුම් එක්කර තිබේ.



