
ක්‍රීඩාව ප්‍රවර්ධනයට ජනපතිගෙන් උපදෙස්
ක්‍රීඩාව ප්‍රවර්ධනයට ජනපතිගෙන් උපදෙස් ලබා දී තිබේ. ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම, මෙරට ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම සහ නිරෝගී ජනතාවක් බිහිකිරීම අරමුණු කර ගනිමින් නව සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ක්‍රීඩාව ප්‍රවර්ධනයට ජනපතිගෙන් උපදෙස් – ජාත්‍යන්තර ජයග්‍රහණ සහ නිරෝගී ජනතාවක් ඉලක්ක කර වැඩසටහන්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස බෝ නොවන රෝග හඳුනාගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රීඩාවට විශාල දායකත්වයක් ලබාදිය හැකි බව සඳහන් කළේය.
ජනතාවගේ ආකල්ප වෙනස් කරමින් වඩාත් ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාමට ඔවුන් උනන්දු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇවිදීමේ මංතීරු ඉදිකර තිබුණද, ඇතැම් ස්ථානවලින් ඒවායේ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් එම පහසුකම් වැඩි වශයෙන් භාවිත කිරීමට ජනතාව දිරිමත් කරන නව වැඩසටහන් හඳුන්වාදීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, රට පුරා පිහිටි ක්‍රීඩාංගණ, ඇවිදීමේ මංතීරු සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් ඉදිරි වැඩසටහන් වඩාත් ක්‍රමවත් ලෙස සැලසුම් කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ යෝජනාව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
මීට අමතරව, අනුරාධපුරයේ මීටර් 400ක කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීම, දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අඩුපාඩු සම්පූර්ණ කර එය සංවර්ධනය කිරීම සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ක්‍රීඩා වෛද්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඒකාබද්ධ කර ගනිමින් ක්‍රීඩාව හා ව්‍යායාම සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදුකිරීම ඇතුළු 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
තවද, යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවේදී සමාලෝචනය කර තිබේ.



