ප්‍රධාන පුවත්

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ජිරාෆ් මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ ඉතිරිව සිටි එකම ජිරාෆ් සත්ත්වයා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී. රාජපක්ෂ මහතා පවසයි.

වසර 30කට ආසන්න වයසක පසුවූ මෙම ගැහැණු ජිරාෆ් සත්ත්වයා ඊයේ (18) රාත්‍රියේ මියගොස් තිබේ. මියයෑමට පෙර සත්ත්වයාට විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ බවද සඳහන් වේ.

වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් ජිරාෆ් සත්ත්වයාගේ මරණය සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

සාමාන්‍යයෙන් ජිරාෆ් සතුන් වනයේදී වසර 20ත් 25ත් අතර කාලයක් ජීවත් වන අතර, සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වඩා වැඩි ආයු කාලයක් ලබාගත හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මියගිය ජිරාෆ් සත්ත්වයා සම්බන්ධ වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (19) සිදු කිරීමට නියමිතව ඇත.

සත්වෝද්‍යාන පරිසරයකදී විලෝපිකයන්ගෙන් ආරක්ෂාව, පෝෂ්‍යදායී හා සමබර ආහාර, සුදුසු වාසස්ථාන, නිරන්තර අධීක්ෂණය සහ අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් මෙම සත්ත්වයාට වසර 30කට ආසන්න දීර්ඝ ආයු කාලයක් ගත කිරීමට හැකි වී තිබේ.

මේ අතර, සත්ත්ව සුබසාධනය, ජාන විවිධත්වය පවත්වා ගැනීම සහ සත්ත්ව සංරක්ෂණය අරමුණු කරගනිමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ නව ජිරාෆ් සතුන් යුගල දෙකක් මෙම වසර අවසන් වීමට පෙර මෙරටට රැගෙන ඒමට නියමිත බවද සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button