ප්‍රධාන පුවත්

2027 සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්

ලබන වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සම්පූර්ණ සූදානමක පසුවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ අදාළ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ඊයේ (26) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව එම වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා කමිටු පහක් පත්කර ඇති බවත්, ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් වෙනම කමිටුවක් ද පිහිටුවා ඇති බවත් අනාවරණය විය.

2026 වසරේ පළමු ශ්‍රේණියෙන් ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම්ගත ලෙස ක්‍රියාත්මක වන බව නිලධාරීන් පෙන්වා දුන් අතර, විද්වත් කමිටුවේ නිර්දේශ අනුව සංශෝධිත 6 ශ්‍රේණි මොඩියුල මුද්‍රණය කරමින් පවතින බව සඳහන් කෙරිණි. පළමු පාසල් වාරයට අදාළ සියලු මොඩියුල මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති අතර, දෙවන වාරයට අදාළ මොඩියුල ද එකවර බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අඛණ්ඩ මඟපෙන්වීම ලබාදෙන අතර, මොඩියුල සංවර්ධන කටයුතු අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බව ද සඳහන් විය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය උපකරණ ද්විතීයික පාසල් 6,500ක් වෙත මේ වන විට ලබාදී අවසන් කර ඇති අතර, තවදුරටත් සංවර්ධනය කළ යුතු ලෙස හඳුනාගත් පාසල් 373ක සංවර්ධන කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව නිලධාරීහු ප්‍රකාශ කළහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button