
අමෙරිකාවෙන් නාවික හමුදාවට ඩොලර් මිලියන 4ක චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අක්වෙරළ මුර සංචාර යාත්‍රා බලඇණිය සඳහා උසස් Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ලබාදීමට පියවර ගෙන තිබේ.
මෙම නිවේදනය කොළඹ වරායේ නවතා තිබූ SLNS ගජබාහු නෞකාවේදී අද (22) පැවති අවස්ථාවකදී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් මහතා විසින් සිදුකර ඇත.

එම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ද සහභාගී වූහ.
සාකච්ඡා අතරතුර සමුද්‍රීය සහයෝගීතාව වර්ධනය කිරීම, ජාත්‍යන්තර නාවික මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම, කලාපීය ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සඳහා සහාය සැපයීම සහ ඉන්දියානු සාගර කලාපයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා නව සන්නිවේදන තාක්ෂණයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමුකර තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 4ක පමණ වටිනාකමකින් යුත් මෙම පද්ධතිය මගින් වෙරළබඩ සීමාවෙන් දුරස්ථ මුහුදු ප්‍රදේශවලදී පවා ආරක්ෂිත හඬ, දත්ත සහ තොරතුරු හුවමාරු කිරීමේ පහසුකම් සැලසෙන බව සඳහන්ය.
නව තාක්ෂණය හරහා නාවික හමුදාවට මූලස්ථානය, ගුවන් යානා සහ අනෙකුත් නෞකා සමඟ තත්‍ය කාලීන සම්බන්ධතා පවත්වාගෙන යාමට හැකිවන අතර, මෙහෙයුම් සම්බන්ධීකරණය, සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් වනු ඇත.
එමෙන්ම නීතිවිරෝධී ජාවාරම් මැඩපැවැත්වීම, සම්බාධක පනවා ඇති යාත්‍රා නිරීක්ෂණය කිරීම සහ කලාපීය සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද මෙම පද්ධතිය වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



