ප්‍රධාන පුවත්

එල්-නිනෝ බලපෑමට පෙර සූදානම් වීමට රජයේ අවධානය

ඉදිරියේදී ගෝලීය වශයෙන් වර්ධනය විය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීමේ අරමුණින් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අදාළ අමාත්‍යාංශ සහ ආයතන නියෝජිතයින් ද සහභාගී වී ඇත.

එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සහ ජල සම්පත් කළමනාකරණයට ඇති විය හැකි අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති අතර, යල කන්නයට අවශ්‍ය ජලය කල්තියා ජලාශවල රඳවා තබා ගැනීම සහ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කළ හැකි සැලසුම් සහ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී ඇති අතර, එල්-නිනෝ අවදානමට මුහුණදීම සඳහා සකස් කරන ලද ක්‍රියාකාරී සැලසුම් සමාලෝචනය කිරීම සඳහා කමිටුවේ තවත් විශේෂ රැස්වීමක් කැඳවීමට ද තීරණය කර ඇත.

ස්වභාවික ආපදා නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි වුවද, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට කල්තියා සූදානම් වීම රජයේ වගකීමක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button