
වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණයක් – පාර්ලිමේන්තුවේ සයිබර් ප්‍රහාර අවදානමක්
පාර්ලිමේන්තුවේ සයිබර් ප්‍රහාර අවදානමක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් 2025 වසර සඳහා නිකුත් කළ පාර්ලිමේන්තු වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
වාර්තාවට අනුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) විසින් සමාලෝචිත කාලය තුළ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂ ඇගයීමක් සිදු කර ඇත.
එහිදී සයිබර් ආරක්ෂාවට අදාළ කරුණු 56ක් පරීක්ෂා කර ඇති අතර, ඉන් කරුණු 46ක් ඉහළ අවදානම් මට්ටමේ පවතින බව හඳුනාගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ.
වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, සයිබර් ප්‍රහාර හරහා ඩිජිටල් පද්ධතිවලට අනවසරයෙන් පිවිස සංවේදී තොරතුරු සොරකම් කිරීම, ආයතනයේ මෙහෙයුම් කටයුතුවලට බාධා කිරීම සහ වෙබ් අඩවිවල අන්තර්ගතය විකෘති කර ආයතනයේ කීර්තිනාමයට හානි කිරීමේ අවදානමක් පවතින බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව විගණන නිරීක්ෂණවලින් ද අවධාරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බව 2025 පාර්ලිමේන්තු කාර්යසාධන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



