
පලතුරු වගාවට නව රක්ෂණාවරණයක් – අක්කරයකට ලක්ෂ 4ක් දක්වා වන්දි
පලතුරු වගාවට නව රක්ෂණාවරණයක්
පලතුරු වගාවේ නිරත ගොවීන්ට ඇති වගා අවදානම් අවම කිරීමේ අරමුණින් පලතුරු වගා රක්ෂණය සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති අන්නාසි, පැපොල් සහ කෙසෙල් ඇතුළු පලතුරු භෝග රැසක් සඳහා රක්ෂණාවරණය ලබාගැනීමට ගොවීන්ට හැකියාව පවතී.
මූලික රක්ෂිත මුදලින් සියයට 7ක වාරිකයක් ගෙවීමෙන් මෙම රක්ෂණාවරණයට හිමිකම් ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
ස්වාභාවික විපත්, රෝග හා පළිබෝධ හානි, කෘමි හානි මෙන්ම වනඅලි හේතුවෙන් සිදුවන වගා හානිද මෙම පලතුරු වගා රක්ෂණය යටතේ ආවරණය කෙරේ.
වගාවට හානි සිදුවන අවස්ථාවකදී අක්කරයක් සඳහා රුපියල් ලක්ෂ 3ත් 4ත් අතර වන්දි මුදලක් ලබාදීමට නියමිතය.
වගාවට ඇති අවදානම් නිසි ලෙස කළමනාකරණය කරමින් ගොවීන් කෘෂිකාර්මික කටයුතුවල තවදුරටත් රඳවා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණක් බවද එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.



