ප්‍රධාන පුවත්

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජනවාරියේදී ලබාදෙන බව අගමැතිනිය කියයි

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන අදියරේ වැටුප් ඉහළ නැංවීම ලබන වසරේ ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම තුන්වන අදියර 2027 ජනවාරියේ සිට ක්‍රියාත්මකයි

අද (21) පාර්ලිමේන්තුවේ පැවැති 2027 අයවැයේ විශේෂ වියදම් ඒකක සම්බන්ධ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී රාජ්‍ය සේවක වැටුප්, ජනාධිපති අරමුදලේ කටයුතු, අධ්‍යාපන සුබසාධන වැඩසටහන් සහ ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඇය අදහස් පළ කළාය.

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප අදියර තුනක් යටතේ ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති අතර, එහි පළමු සහ දෙවන අදියර 2025 සහ 2026 වසරවලදී ක්‍රියාත්මක කර තිබේ. ඉතිරි තුන්වන අදියර 2027 ජනවාරි මාසයේදී සියලුම රාජ්‍ය සේවකයන්ට සහ ගුරුවරුන්ට ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.

මේ අතර දැනට පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව 2027 ජූලි මාසයේදී ලැබීමට නියමිත බව ද ඇය සඳහන් කළාය. එම වාර්තාවේ නිර්දේශ අනුව අදාළ විෂමතා නිවැරදි කිරීමට ඉදිරි පියවර ගන්නා බව ද ප්‍රකාශ කළාය.

ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ව්‍යාප්ත කිරීමෙන් ප්‍රතිලාභීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

ඒ අනුව 2025 වසරේදී 1,664ක් වූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2026 වසර වන විට 27,948 දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමවේද හේතුවෙන් පසුගිය වසර දෙක තුළ අරමුදලේ මූල්‍ය ශක්තිය සියයට 150කින් ඉහළ ගොස් ඇති බව ද ඇය පැවසුවාය.

අධ්‍යාපන හා සෞඛ්‍ය සුබසාධන කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි 2,000කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එසේම රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින පොරොත්තු ලේඛන අඩු කිරීමේ වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට මහ රෝහලේ පුද්ගලයන් 570 දෙනකුටත්, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පුද්ගලයන් 600 දෙනකුටත් අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍ය දීමනාව සියයට 100කින් ඉහළ නංවා ඇති බවත්, පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යමින් එහි ප්‍රතිලාභ සහ රෝගී තත්ත්ව ආවරණය පුළුල් කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු විධිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ ඩිජිටල් කාර්යසාධක බලකායක් පිහිටුවා ක්‍රියාත්මක කර ඇති බව ද ඇය පැවසුවාය. මහජන පැමිණිලි සම්බන්ධයෙන් පසු විපරම් කිරීම සඳහා ද විධිමත් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව සඳහන් කළාය.

තවද පාසල් ප්‍රජාව සහ විවිධ අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. රාජ්‍ය ආයතනවල නාස්තිය හා දූෂණය අවම කිරීම, සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම මෙන්ම ආගමික නායකයන් සමඟ සංවාද ඔස්සේ සාමය හා සංහිඳියාව තහවුරු කිරීම ද රජයේ වැඩපිළිවෙළට ඇතුළත් බව ඇය පෙන්වා දුන්නාය.

17 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා සඳහා සුදුසු සාමාජිකයන් පත් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රතිශතය වසරින් වසර ඉහළ යමින් පවතින බවත්, මානව හිමිකම් කොමිෂන් සභාව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රතිපත්ති සම්පාදනයට මෙන්ම ගැටලු විසඳීමට සක්‍රීයව දායක වන බවත් ඇය පැවසුවාය.

විපක්ෂය ඉදිරිපත් කරන සාධනීය සහ ගෞරවාන්විත විවේචන රජය පිළිගන්නා නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම කනගාටුවට කරුණක් බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

රට පරිවර්තනීය ගමනක නිරතව සිටින මෙවැනි අවස්ථාවක විපක්ෂය ශිෂ්ට සම්පන්නව සහ වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button