ප්‍රධාන පුවත්

අමෙරිකානු 12.5% බද්දට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාව කම්කරු සහ රේගු නීති දැඩි කරයි

අමෙරිකාව විසින් යෝජනා කර ඇති සියයට 12.5ක අතිරේක ආනයන බද්දෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව කම්කරු හා රේගු ක්ෂේත්‍රයේ නියාමන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, බලහත්කාර ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන භාණ්ඩ හඳුනාගැනීම සඳහා රේගු පරීක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ වන අමෙරිකාව වෙත වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ, විශේෂයෙන් ඇඟලුම්, අපනයනය කෙරේ. පසුගිය වසරේ පමණක් ඇඟලුම් කර්මාන්තය මඟින් අමෙරිකානු ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් උපයා ඇති අතර, එම ක්ෂේත්‍රයේ සේවකයන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් නිරතව සිටිති.

අමෙරිකානු බලධාරීන් විසින් මතුකර ඇති බලහත්කාර ශ්‍රමය පිළිබඳ ගැටලු සැලකිල්ලට ගනිමින් රේගු නිරීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම, සේවා ස්ථාන තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C190 සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහාද රජය අවධානය යොමු කර ඇති බව ඔහු සඳහන් කළේය.

මේ අතර, අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙන නමුත්, ඒ සඳහා අමෙරිකාවට නිල සංචාරයක් සැලසුම් කර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජුනි 03 වනදා අමෙරිකානු පරිපාලනය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට 12.5 දක්වා අතිරේක බදු පැනවීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීම එම යෝජනාව සඳහා හේතුව ලෙස දක්වා තිබේ.

යෝජිත ක්‍රමය අනුව කැනඩාව, මෙක්සිකෝව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවලට සියයට 10ක බද්දක් යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් රැසකට සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට නියමිතය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button