
මන්නාරම හා ගාල්ලේ මාරක රිය අනතුරු – කුඩා දැරියක් සහ වයස 65ක් වන කතක් මරුට
මන්නාරම ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 01යි මාස 06ක් පමණ වූ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර මන්නාරම, තාල්වුපාඩු–තාරාපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදුව ඇති අතර, බේකරි ආහාර ද්‍රව්‍ය රැගෙන ගිය ත්‍රීරෝද රථයක් ගැටීමෙන් එය සිදුවී ඇත. බරපතළ තුවාල ලබාගත් දැරිය මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. මියගිය දැරිය තාරාපුරම්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර, ගාල්ල අක්මීමණ ප්‍රදේශයේද තවත් මාරක අනතුරක් වාර්තා වී තිබේ. ගාල්ල–උඩුගම මාර්ගයේ බටදූව ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව සහ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණද, පසුව කාන්තාව මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය කාන්තාව වයස අවුරුදු 65ක් වූ බටදූව, බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධි දෙක සම්බන්ධයෙන්ම අදාළ පොලිස් ස්ථාන විසින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.



