
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමක අත්අඩංගුවට
බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර නියාමකවරයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ හෙරොයින් ග්‍රෑම් 20ක් සොයාගෙන ඇති අතර, එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න බව සඳහන් වේ.
සිද්ධියට අදාළව දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී පළමුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයෙකු වට්ස්ඇප් දුරකථන ඇමතුමක් ඔස්සේ ස්ථානයක් පිළිබඳ තොරතුරු ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
එම තොරතුරු අනුව අදාළ මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගෙන ඇති බවටද අනාවරණය වී ඇත. පසුව එම පාර්සලය බොරැල්ල වනාත පාරේදී තවත් පුද්ගලයෙකුට භාරදීමට නියමිතව තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් සැලසුම් කර ඇත.
මෙහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු සැකකරු වෙත පැමිණ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා ගැනීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ අවට රැක සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්වූ නියාමකවරයා පසුගිය ජනවාරි මාසයේදී මැගසින් බන්ධනාගාරයට සේවයට පැමිණ ඇති අතර, ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කර ඇති බව සඳහන් වේ.
53 හැවිරිදි මෙම සැකකරු තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.



