
සලේ ගැන පාප් වහන්සේගේ මැදිහත්වීම ඉල්ලා පවුලෙන් ලිපියක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී රෝහල්ගත කර ඇති රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින බව පැවසෙන මානුෂීය ගැටලු සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් අද (23) ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත අද පෙරවරුවේ භාරදී ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කර තිබූ අතර, පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින සලේ මහතා රෝහල්ගත කර අදට දින 16ක් සපිරෙන බව සඳහන් වේ.
සුරේෂ් සලේ මහතා පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික සභාවේ පියතුමන් කිහිප දෙනෙකුද පසුගිය දිනවල ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ කර ඇති පසුබිමක, ඔහුගේ පවුලේ ඥාතීන් මෙම පියවර ගෙන තිබේ.



