
ප්‍රධාන පුවත්
ඉන්දීය ධීවරයින් 9ක් නාවික හමුදා භාරයට
ඉන්දීය ධීවරයින් 9ක් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබේ.
යාපනය ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටියදී මෙම පිරිස ඊයේ (03) සවස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මගින් සිදුකළ නිරීක්ෂණයකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
එහිදී අදාළ ධීවරයින් 9 දෙනා සමග ඔවුන් ධීවර කටයුතු සඳහා භාවිත කළ යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මේ වනවිට එම ධීවරයින් සහ යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් තිබේ.
ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.



