කාලගුණය

අදත් ප්‍රදේශ රැසකට මි.මී.100 ඉක්මවූ තද වැසි අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාව අවට පවතින පහළ වායුගෝලීය කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද තවදුරටත් ක්‍රියාත්මක වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද (09) පෙරවරුවේ නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව, බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

එමෙන්ම පස්වරු 1.00ට පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් වේ. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලට අමතරව ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා තද වැසි අපේක්ෂා කෙරේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා විය හැකි බවද නිවේදනයේ දැක්වේ.

තවද මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ අංශය පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button