
නිරෝගිමත් සමාජයක් සඳහා පෝෂණ ප්‍රතිපත්තිය අවශ්‍යයි – ඇමති නලින්ද
නිරෝගිමත් සමාජයක් ගොඩනැගීම සඳහා පෝෂණය කේන්ද්‍ර කරගත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පමණක් නොව, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඉලක්ක කරගත් පෝෂණ ප්‍රතිපත්ති රටට අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය (SLMNA) සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය (SLCNP) එක්ව සංවිධානය කළ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
“සායනික සත්කාරයේ පෝෂණය සුසංයෝගී කිරීම: දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට” යන තේමාව යටතේ පැවති මෙම සැසිවාරයට දේශීය හා විදේශීය විශේෂඥ වෛද්‍යවරුන්, පෝෂණ විද්‍යාඥයින් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ විද්වතුන් රැසක් සහභාගී වූහ.
මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ සායනික පෝෂණ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නව විද්‍යාත්මක දැනුම ප්‍රවර්ධනය කිරීම සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීමයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පෝෂණය යනු සෞඛ්‍ය සේවාවේ අමතර අංගයක් නොව, රෝග නිවාරණය, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ දිගුකාලීන සත්කාර දක්වා විහිදෙන සෞඛ්‍ය පද්ධතියේ මූලික කොටසක් බවයි. ඒ අනුව සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ සිට රෝහල් සේවා සැලසුම් කිරීම දක්වා සෑම මට්ටමකදීම පෝෂණයට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
ජනතාවගේ ආහාර තේරීම්, ආහාර ලේබල්කරණය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වෙත ප්‍රවේශය මහජන සෞඛ්‍යයට සෘජුව බලපාන බව පැවසූ අමාත්‍යවරයා, දියර ආහාර නිෂ්පාදනවල සීනි ප්‍රමාණය දැක්වෙන වර්ණ කේත ලේබල්කරණ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කර ඇති බවද සඳහන් කළේය.
එම ක්‍රමවේදය හරහා පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු මත පදනම්ව සෞඛ්‍ය සම්පන්න මිලදී ගැනීමේ තීරණ ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවසීය.
තවද ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය පර්යේෂණ, වෘත්තීය පුහුණුව, සාක්ෂි මත පදනම් වූ සායනික භාවිතයන් සහ බහු-විෂය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම තුළින් සිදුකරන දායකත්වයද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
මෙවැනි ශාස්ත්‍රීය සංසද මඟින් ප්‍රතිපත්ති සම්පාදකයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් වී, ජනතාවට සැපයෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීමට හැකි වන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



