අද විශේෂ

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7යි – දිවයින පුරා විශේෂ ආගමික කටයුතු අද

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් සම්පූර්ණ වේ. එම අවස්ථාව සිහිපත් කරමින් දිවයින පුරා සියලුම දේවස්ථානවල අද (21) දින විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසන්නේ, පෙරවරුවේ සෑම දෙව්මැදුරකම ප්‍රහාරයේ වින්දිතයින් සිහිපත් කිරීම සඳහා මෙම වැඩසටහන් සංවිධානය කර ඇති බවයි. ඒ අනුව මළවුන්ගේ සීනුව නාද කිරීම, විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ගැනීම, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම සහ විශේෂ යාඤා මෙහෙයන් පැවැත්වීම සිදු කිරීමට නියමිතය.

මෙම සැමරුම් අතරින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ. එම අවස්ථාව හේතුවෙන් දේවස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් එම ප්‍රදේශයේ මාර්ගවල රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට කටයුතු කර ඇත.

තවද කටුවාපිටිය දේවස්ථානයේදී ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිත අතර, මීගමුව මාරිස්ටෙලා ක්‍රීඩාංගණයෙන් පස්වරු 4.00ට ආරම්භ වන යැදුම් පා ගමනක් කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ගමන් කර අවසන් කිරීමට සංවිධානය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button