
ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ජනාධිපති කාර්ය සාධක බලකායක් අවශ්‍යයි – GMOA
රට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ වර්තමානයේ ඩෙංගු තත්ත්වය අධි වසංගත මට්ටමක් කරා ගමන් කරමින් පවතින බවයි. පසුගිය මැයි මාසයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා ජුනි මාසයේ පළමු සති දෙක තුළ පමණක් ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.
“2017 වසරේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දැක්කා. ඒ හා සමාන මට්ටමකට, ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් පසුගිය මැයි මාසය වනවිට රට පුරා වාර්තා වුණ සමස්ත රෝගීන් සංඛ්‍යාවට වඩා ජුනි මාසයේදී වාර්තාවෙලා තියෙනවා. මැයි මාසයේදී රෝගීන් 8600ක්. නමුත් ජුනි මාසයේදී පළවෙනි සති දෙක තුළ පමණක් රෝගීන් නව දහසකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තාවෙලා තියෙනවා. මේකෙන්ම පේනවා මේ තුළ තියෙන අනතුර මොකක්ද කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුද්දේ, මේ කාලයට සාපේක්ෂව සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 200කින් වැඩිවෙලා තියෙනවා. වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ, බස්නාහිර පළාතෙන්.”
සෞඛ්‍ය පද්ධතිය දැනටමත් උපරිම ධාරිතාවයට ළඟා වෙමින් පවතින අතර කාර්ය මණ්ඩල හා ඖෂධ සැපයුම් සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බව GMOA පෙන්වා දෙයි.
“මේකේ තියෙන බරපතළම කාරණාව තමයි, ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම තවමත් උපරිම මට්ටමට ළඟාවී නොමැති වුණත්, සෞඛ්‍ය පද්ධතිය තමන්ගේ උපරිම ධාරිතාවට පත්වෙමින් තිබෙනවා. කාර්යය මණ්ඩලයේ, ඖෂධ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා.”
මෙම තත්ත්වය ජාතික හදිසි අවස්ථාවක් ලෙස සලකා සියලු පාර්ශ්ව එක්කරගත් ජාතික මට්ටමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද එම සංගමය අවධාරණය කරයි.
“මේක ජාතික හදිසි තත්ත්වයක් සේ දකින්න ඕනේ. මින් ඉදිරියට මේ තත්ත්වය වර්ධනය වුණොත්, මේ සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි වනවා. ඒ නිසා තැනින් තැන ඩෙංගු මර්දනය සඳහා ව්‍යාපෘති සිද්ධ කරනවා වෙනුවට අපි විශ්වාස කරනවා. සියලු පාර්ශ්ව එකතැනකට ගෙනල්ලා, ජාතික මට්ටමේ කමිටුවක්, එහෙම නැත්නම් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරලා, ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් ඉලක්ක ගත ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත් කරලා ඒ සැලැස්ම බිම් මට්ටම දක්වාම ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙන්න අවශ්‍යයි.”



