ප්‍රධාන පුවත්

නෝර්වේ සහයෝගයෙන් ශ්‍රී ලංකා ධීවර නිරීක්ෂණයට AIS චන්ද්‍රිකා තාක්ෂණය

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීන තාක්ෂණය සමඟ ශක්තිමත් කිරීමේ අරමුණින්, නෝර්වේ රජය සමඟ වැදගත් සහයෝගී එකඟතාවයකට පැමිණ තිබේ. නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු ශ්‍රී ලංකා දූත පිරිස, ඔස්ලෝ නගරයේදී නෝර්වේ වෙළෙඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීය.

මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීම, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ නීතිවිරෝධී ධීවර කටයුතු මර්දනය සඳහා නව ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

විශේෂයෙන්ම ‘Blue Justice’ වැඩසටහන යටතේ ලබාදෙන AIS (Automatic Identification System) චන්ද්‍රිකා දත්ත පද්ධතිය ශ්‍රී ලංකාවට නොමිලේ ලබා ගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම තාක්ෂණය හරහා ධීවර යාත්‍රා නිරීක්ෂණය කිරීම පහසු වන අතර, නීතිවිරෝධී ධීවර ක්‍රියාකාරකම් කාර්යක්ෂමව හඳුනාගෙන මර්දනය කළ හැකි බව සඳහන් වේ.

එමෙන්ම, මෙම පද්ධතිය ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශයේ සහ අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පුහුණු වැඩසටහන් ලබාදීමටද නෝර්වේ පාර්ශවය එකඟ වී ඇත.

ඊට අමතරව, තිරසාර ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගෝලීය ක්‍රියාකාරී ජාලයක් සමඟ පැවති සාකච්ඡාවකදී, මත්ස්‍ය නිෂ්පාදනවල පෝෂණීය අගය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු විය. එහිදී ශ්‍රී ලංකාවට “Food Nutrition and Composition Group” සමඟ එක්වීමට නිල ආරාධනාවක්ද ලැබී තිබේ.

මෙම සහයෝගීතා වැඩසටහන් හරහා, නාරා (NARA) වැනි දේශීය පර්යේෂණ ආයතන සඳහා ජාත්‍යන්තර දැනුම හා තාක්ෂණය ලබාගැනීමට නව අවස්ථා විවෘත වනු ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නෝර්වේ රජය සමඟ ඇති මෙම තාක්ෂණික සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීනීකරණය කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව එය යාවත්කාලීන කිරීමටත් මහත් දායකත්වයක් ලබාදෙන බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button