
තඹුත්තේගම පොහොර සාම්පල පරීක්ෂාවට
2019 වසරේ නිෂ්පාදිත බව සඳහන් වන MOP පොහොර තොගයක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් එහි සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
අදාළ පොහොර තොගය තඹුත්තේගම ගබඩාවකින් රඹෑව ගොවිජන මධ්‍යස්ථානය වෙත ලබාදී ඇති බව සඳහන් වන අතර, එය භාවිතයට සුදුසුද නැද්ද යන්න තහවුරු කළ හැක්කේ රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල අනුව පමණක් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර මහ කනදරාව ප්‍රදේශයේ පණ්ඩුකාභයපුර ගොවීන්ට සහනාධාර ලෙස ලබාදීමට වෙන්කර තිබූ මෙම පොහොර තොගය පිළිබඳව ඊයේ (15) ගොවීන් විසින් චෝදනා ඉදිරිපත් කර තිබුණි.
ගොවීන් පවසන්නේ, 2019 වසරේ මෙරටට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර සහ කල් ඉකුත් වූ පොහොර තොගයක් මෙලෙස නැවත බෙදාහැරීමට උත්සාහ කර ඇති බවයි.
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා,
“අනුරාධපුරයේ බෙදපු පොහොර සම්බන්ධයෙන් අපි කඩිනමින්ම අපි අනුරාධපුර පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මගින් සාම්පල් ලබාගෙන කොළඹට යොමු කරලා තියෙනවා. අපි කඩිනම්න් ඒ සාම්පල් පරීක්ෂා කරනවා. අපිට යමක් කියන්න වෙන්නේ මේ පොහොර සාම්පලේ පරීක්ෂා කරලා. පොහොර සමාගමේ විමසීමේදී සඳහන් කළේ, කැනඩාවෙන් 2022 ආනයන කරපු පොහොර කියලා. එතකොට ඒ 22 ආනයනය කරපු පොහොරවලට අපි සාම්පල් පරීක්ෂාවක් කරලා අවසරය කලින් අපි දීලා තිබුණා. කෙසේ වෙතත් මේ පොහොරවලත් කෙටි කාලයක් තුළ සාම්පල් පරීක්ෂා කරලා කියන්න පුළුවන් ඒවා මොන තත්ත්වයකද තියෙන්නේ කියලා” යනුවෙන් සඳහන් කළේය.



